
වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින මවුවරුන්ට විදේශ රැකියා සඳහා යොමුවීමට අවසරය ලබා නොදීමට තීරණය කර ඇති බව ජාතික ළමාරක්ෂණ අධිකාරියේ සභාපති විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ පවසයි.

තවද ඊට අදාළ නීතිරීති සම්පාදනය කර ඇති බවද ඇය සඳහන් කරයි.
මේ වනවිට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ලබන වසර වනවිට මෙය නීතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද දරුවන්ට සිදුවන අකටයුතුකම් පිළිබඳ සලකා බලා මෙම නීතිය යළි පැනවීමට කටයුතු කරමින් සිටින බවද ඇය පවසයි.
මේ අතර 2022 වසරේ ජුනි 27 වැනිදා අමාත්‍ය මණ්ඩලයේදී ගත් තීරණයක් අනුව මේ වනවිට වයස අවුරුදු දෙකට අඩු දරුවන් සිටින මවුවරුන්ට විදේශ රැකියා සඳහා යොමුවීමට ද අවසරය ලබාදී ඇත.
එහෙත් ඊට පෙර පැවැති නීතියට අනුව විදෙස්ගත වීමට අවස්ථාව හිමිවූයේ වයස අවුරුදු පහ සම්පූර්ණ වූ දරුවන් සිටින මවුවරුන්ට පමණි. කෙසේ වුවද මෙම නීතිය යළි දරුවන්ගේ යහපතඋදෙසා සංශෝධනය කරන බව ජාතික ළමාරක්ෂණ අධිකාරියේ සභාපතිවරිය සඳහන් කළාය.
මේ අතර දරුවන් සිටින මවක විදේශ රැකියා සඳහා යොමුවීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර එහිදී වයස අවුරුදු පහට වැඩි දරුවන් සිටින අවස්ථා වලදී ඔවුන්ගේ රැකවරණයට නිවෙස් පාදක වැඩපිළිවෙළක්ද සකස් කළ යුතුය.
