
ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාල සටහනකට අනුව ධාවනය කිරීම අලුත් ක්‍රමවේදයක් නොවේ. අඩු ගණනේ මෙය අවුරුදු තිහක් පමණ පැරණිය.
නිදසුනක් ලෙස මාර්ග අංක 407 දරණ ගාල්ල- මාපලගම බස් රථ මාර්ගය හෙවත් රූට් එක සැලකුවහොත්, ඒ කාලයේ ධාවනය කරන ලද ලංගම බස් රථ හය සඳහා පැවතුණු ගමන් වාර එලෙසම තිබියදී පෞද්ගලික අංශයේ බස් රථ ගමන් වාර ඒ අතර මැදට ඇතුළු කරන ලදී.
මේ නිසා මගීන්ට එකම වේදිකාවේ රැඳී සිටිමින්, ලංගම හෝ පෞද්ගලික බස් රථ මගින් සමාන ගාස්තුවක් ගෙවමින් ගමන් පහසුව සලසා ගැනීමට හැකියාව ලැබේ.
මට මතක හැටියට ගාල්ල බස් නැවතුම් පොළෙන් ආරම්භ වන සියළුම බස් සේවා ඒකාබද්ධ කාල සටහනක් යටතේ ධාවනය ආරම්භ කරන ලද්දේ මීට වසර තිහකට වඩා පෙර සිටය. මෙම ඒකාබද්ධ සේවා වැඩසටහනට ඇතුළත් නොවූයේ මාර්ග අංක 2 ගාල්ල- කොළඹ බස් සේවය පමණකි. ගාල්ල- කොළඹ පෞද්ගලික බස් රථ ගමන් අරඹන ලද්දේ සමනළ පාලම අසල පිහිටි මගී පර්යන්තයකිනි.
ඒකාබද්ධ සේවා ක්‍රියාත්මක වීමට පැවැති එක් බාධාවක් වූයේ කොළඹ පිටකොටුවේ පිහිටි මධ්‍යම බස් නැවතුම් පොළ ලංගම බස් රථ සඳහා පමණක් සීමා වීමයි. පෞද්ගලික බස් රථ මුල් කාලයේ දී කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සිට ගමන් ඇරඹූ අතර පසුව බැස්ටියන් මාවතේ සහ ගුණසිංහ පුරයේ නව පර්යන්ත දෙකක් පෞද්ගලික බස් රථ සඳහා වෙන් විය.
මෙම තත්ත්වය නිසා ඒකාබද්ධ සේවා ආරම්භ කිරීම ප්‍රායෝගිකව කළ නොහැකි විය.
මේ නිසා අපහසුතාවයට පත් වන්නේ මගීන් ය.

පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පර්යන්තයේ සිට ගුණසිංහ පුර පෞද්ගලික බස් නැවතුම් පොළට යාමට මගියෙකු සිය ගමන් මළු ද රැගෙන අමතර මීටර 350 ක් ඇවිද යා යුතුය; ගතවන කාලය විනාඩි 4 කි.
පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පර්යන්තයේ සිට බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම් පොළට යාමට මගියෙකු අමතර මීටර 700 ක් ඇවිද යා යුතුය; ගතවන කාලය විනාඩි 10 කි.
පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම් පොළේ සිට ගුණසිංහ පුර පෞද්ගලික බස් නැවතුම් පොළට යාමට මගියෙකු සිය ගමන් මළු ද රැගෙන අමතර මීටර 750 ක් ඇවිද යා යුතුය; ගතවන කාලය විනාඩි 11 කි.
ඈත දුර සිට පැය ගණනක් බස් රථයක ගමන් කොට, දරු මල්ලන් සහ ඇඳුම් කැඩුම් සහිත බඩු මලු ද රැගෙන, කාගෙන් හෝ පාර අසා ගෙන මෙසේ ඔබ මොබ ගමන් කිරීමට මගීන්ට සිදුවීම බරපතළ අයුක්තියකි.
එකම ගමනාන්තයක් කරා ධාවනය වන ලංගම සහ පෞද්ගලික බස් රථ බස් රථ සේවා සඳහා වෙන වෙනම බස් රථ නැවතුම් පොළ පවතින තුරු කොළඹ අන්තයෙන් ඒකාබද්ධ කිරීම සිදු කළ නොහැකිය. එසේ ඒකාබද්ධ නොකරන තුරු මගීන්ට ඇතිවන හිරිහැරය විසඳෙන්නේ ද නැත.
දශක ගණනක අයුතු ප්‍රමාදයකින් පසුව දැන් ඒකාබද්ධ කාල සටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භව ඇත. Bimal Rathnayake ඇමතිවරයාට සහ Prasanna Gunasena නියෝජ්‍ය ඇමතිවරයාට ඒ පිළිබඳව ස්තුතිවන්ත විය යුතුය.

ඒකාබද්ධ බස් රථ කාල සටහන් ක්‍රමයක් මගියාට ලබා දෙන වාසි පහත පරිදි වේ:
- විශ්වාසනීයත්වය: නිශ්චිත කාල සටහනක් තිබීම මගින් බස් රථ එන වේලාවන් පිළිබඳව මගියාට පූර්ව දැනුමක් ලැබෙනවා. මෙය බලා සිටීමේ කාලය අඩු කරනවා.
- කාලය ඉතිරි කිරීම: ඒකාබද්ධ කාල සටහනක් මගින් බස් රථවල ගමන් කාලය සහ ස්ථානවලට ළඟා වන වේලාවන් පිළිබඳ තොරතුරු ලැබෙන බැවින්, මගියාට තම ගමන් බිමන් යෑමේ කාලය කාර්යක්ෂමව සැලසුම් කළ හැකිය.
- පහසුව: බස් රථ මාර්ග, වේලාවන්, සහ සම්බන්ධතා (transfers) පිළිබඳ තොරතුරු එකම තැනකින් ලබා ගත හැකි නිසා, ගමනාගමනය පහසු වේ.
- අඩු තදබදය: ඒකාබද්ධ කාල සටහනක් මගින් බස් රථවල ගමන් බිමන් යෑම් හොඳින් සම්බන්ධීකරණය වන බැවින්, එකම මාර්ගයේ බස් රථ එකවර ගමන් කිරීම වැළැක්වෙනවා. මෙය මගී තදබදය අඩු කරයි.
- විනිවිදභාවය: බස් රථවල ගමන් වාර, මිල ගණන්, සහ මාර්ග තොරතුරු පැහැදිලිව ලබා ගත හැකි නිසා, මගියාට තීරණ ගැනීම පහසු වේ.
- ඩිජිටල් ඒකාබද්ධතාව: බොහෝ ඒකාබද්ධ කාල සටහන් ඩිජිටල් යෙදුම් හරහා ලබා ගත හැකි වීමෙන්, ජංගම දුරකථන හරහා තත්කාලීන තොරතුරු (real-time updates) ලබා ගැනීමේ හැකියාව තිබේ.
- බස් මාරුවීමේ පහසුව: එකිනෙකට සම්බන්ධිත කාල සටහන් මගින් බස් මාරුවීම් (transfers) ඉක්මනින් හා පහසුවෙන් කළ හැකි වේ.
මෙම වාසි මගින් මගියාට ආරක්ෂිත, කාර්යක්ෂම, සහ පහසු ගමනාගමන අත්දැකීමක් ලබා ගත හැකිය.
