
ඉස්සර විශ්ව විද්‍යාල කථිකාචාර්ය කෙනෙක් මොනවා හරි අලුත් දෙයක් ගැන කතාකරන්න කොන්ෆරන්ස් එකකට පිටරට ගියොත් ඒ කාලේ (කොවිඩ් වලට කලින්) ඩොලර් 1000ක් දුන්න. ඒක ඇති ගුවන් ටිකට් එකටයි තවත් ඔය පොඩි පොඩි සූපින් වියදම් වලටයි. හැබැයි ඒ වෙලාවේ මෙහෙම මාරාන්තික ටැක්ස් එකක් කැපුවේ නැති නිසා කොහොම හරි අතේ මුදලින් හරි ජාම බේරාගත්ත. පොතක් පතක් ගත්ත. මිනිස්සු හමු උනා. ඒ සම්බන්දකම් අපේ රටට අපි අරන් ආව. ඒවායින් දරුවෝ යමක් ගත්ත.
මේ තියෙන්නේ ඒ සියල්ල අහිමි රටක්. ටැක්ස් ගහල විතරක් රට හදන්න පුළුවන් කියල හිතන රටක්. සියළු පටි තදකර ගත්තම හැමදේම වෙයි කියල හිතන රටක්. අවසානයට ඉතුරු උණේ ගිනස් එක නොබෙල් එක දන්නේ නැති රටක්.
ඉස්සර තිබ්බ දේ දැන් නැහැ කියල නොස්ටැල්ජියාවක් නැහැ. හැබැයි දැන් ඒ කිසිම පහසුකමක් නැති නිසා අපිට ගොඩක් දේ කියන්න දැන් බැහැ. මොකද එහෙම කියන්න භෞතික පසුබිමක් නැහැ.
එනවා. දන්නා දේ උගන්වනවා. ගෙදර යනවා. එච්චරයි. විශ්ව විද්‍යාල ජීවිතයක් කියන්නේ එච්චරද?
ඒ කාලේ පිටරටකට ගිහිල්ල, මිනිස්සු දැකල කරලා, රටක් දැකබලා ගෙන, ඒ අත්දැකීම් ඊළඟ පරම්පරාව වෙත ප්රක්ෂේපනය කළා අපි. මේ රස්සාවට එන්න ළමයිට කිව්වා අපි.
දැන් එහෙම කියන්න බැහැ. ඇවිල්ල කරන්න ගෞරවණීය රස්සාවක් නැහැ. මේකෙන් යන්න කියල විතරයි කියන්න පුළුවන්. මම හිතන්නේ නැහැ කොරෝනාවලට කලින් ලෝකේ ආයෙත් අපිට හම්බවෙයි කියල…ඒත්.
පහුගිය දශකයක විතර කාලයක් ඇතුලේ අධ්‍යාපනය ගැන ධනාත්මකව ගොඩක් දේවල් කියපු ආණ්ඩුවකට පේන්න මේ පෝස්ටරේ ගහන්න උවමනාවක් ඇත්තේ නැහැ. ගහන්න කලින්ම මේ ගැන වැඩ කරන්නයි තිබ්බේ.
මිනිස්සු ගොඩක් බලාපොරොත්තු තිබ්බ නිසා ආණ්ඩුව ඇවිල්ල අවුරුද්දක් යනකල්ම ගැහුවේ නැහැ. දැන් ගහල.
මහේෂ් හපුගොඩ
