අවුරුදු 16 ලිංගික කැමැත්ත හා වෙනත් නීති අතර පරතරය: ළමයාගේ වයස කීයද?

ලිංගික කැමැත්ත

-අජිත් පැරකුම් ජයසිංහ-

ශ්‍රී ලංකාවේ පවතින නීති පද්ධතිය තුළ ළමයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්ති පරතරයක් දක්නට ලැබේ. ලිංගික කැමැත්ත, අපරාධ වරදක් සම්බන්ධයෙන් වගකීම දැරිය හැකි වයස සහ විවාහය සඳහා අවම වයස යන කරුණු සම්බන්ධයෙන් පවතින නීති අතර ඇති මෙම පරස්පරතාවන්, ළමයින්ගේ ආරක්ෂාවට සහ යහපතට සෘජුව බලපාන බැවින් ඒවා සංශෝධනය කිරීම අත්‍යවශ්‍ය වී ඇත.

නීතිමය පරස්පරතා:

ලිංගික කැමැත්ත පළකිරීමේ වයස: ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව, ලිංගික කැමැත්ත සඳහා නීත්‍යානුකූල වයස අවුරුදු 16ක් ලෙස දක්වා ඇත. (දණ්ඩ නීති සංග්‍රහයේ 360A වගන්තිය).
අපරාධ වගකීම දැරිය හැකි වයස: එහෙත්, අපරාධ වැරදි සම්බන්ධයෙන් වගකීම දැරිය හැකි වයස අවුරුදු 18ක් ලෙස සලකනු ලබයි. එය නීත්‍යානුකූලව වැඩිහිටියෙකු ලෙස වගකීම් දැරීමට දරුවෙකු පරිණත විය යුතු බවට නීතිමය පිළිගැනීමකි.
විවාහය සඳහා අවම වයස: සාමාන්‍ය නීතිය යටතේ විවාහය සඳහා අවම වයස අවුරුදු 18ක් වුවද, මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය (Muslim Marriage and Divorce Act) යටතේ අවම වයසක් නීතියෙන් සීමා කර නොමැති අතර උඩරට විවාහ සහ දික්කසාද ආඥා පනත යටතේ විශේෂ අවස්ථා වලදී වයස අවුරුදු 16න් පසු විවාහ විය හැකිය. මෙම නීති මගින් ළමා විවාහ සඳහා අවස්ථාව සලසා දී ඇත.
අවුරුදු 13ක අනිවාර්ය අධ්‍යාපන ප්‍රතිපත්තිය මගින් දරුවෙකුට අවුරුදු 18 සම්පූර්ණ වන තෙක් පාසල් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සැලසීම, ළමා විවාහ හේතුවෙන් අධ්‍යාපනය අහිමි වීමේ අවදානම අඩු කිරීමට සහ ඔවුන් සමාජීය, මානසික හා ශාරීරික වශයෙන් පරිණත වීම තහවුරු කිරීමට සෘජුවම බලපායි.

ළමා විවාහ සහ එහි බලපෑම් පිළිබඳ දත්ත:

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව, ශ්‍රී ලංකාවේ අවුරුදු 15-19 අතර තරුණ කාන්තාවන්ගෙන් 15,000කට වැඩි පිරිසක් සෑම වසරකම ගැබ්ගනී. ශ්‍රී ලංකා විවාහ සහ දික්කසාද නීතියේ පවතින දුර්වලතා ළමා විවාහ හා නොමේරූ ගැබ් ගැනීම් සඳහා ප්‍රධාන හේතුවක් වී ඇත. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) වාර්තා කරන පරිදි, ශ්‍රී ලංකාවේ අවුරුදු 20-24 අතර කාන්තාවන්ගෙන් 1% ක් අවුරුදු 15ට පෙර විවාහ වී ඇති අතර, 11% ක් අවුරුදු 18ට පෙර විවාහ වී ඇත. මෙම අඩු වයස් විවාහ හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනයට බාධා ඇතිවීම, ඔවුන් පවුල් තුළ හිංසනයට ගොදුරු වීම සහ මානසික ගැටලු ඇතිවීම බහුලව දක්නට ලැබේ.

විවාහ නීතිය වෙනස් කිරීමේ අවශ්‍යතාව:

නීති පද්ධතියේ පවතින මෙම පරස්පරතා ඉවත් කිරීම සඳහා, විවාහය සඳහා අවම වයස අවුරුදු 18 දක්වා ඉහළ නැංවිය යුතු බවට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ විද්වතුන් දිගින් දිගටම හඬ නඟා ඇත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනියක මෙන්ම ජ්‍යෙෂ්ඨ සමාජ විද්‍යා පර්යේෂකවරියක වන ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියද මේ පිළිබඳව දැඩි ලෙස අවධාරණය කර ඇත. 2021 වසරේදී පාර්ලිමේන්තුවේදී විවාහ සහ දික්කසාද නීති සංශෝධන පිළිබඳ පැවති විවාදයකදී ඇය අවධාරණය කළ පරිදි, නීතිය විසින් ළමයෙකුට වගකීම් දැරිය හැකි වයස අවුරුදු 18ක් ලෙස පිළිගෙන තිබේ නම්, විවාහය වැනි බරපතල තීරණයක් සඳහාද එම වයසම අනුගමනය කළ යුතු බව ඇය පෙන්වා දුන්නාය.

ලිංගික කැමැත්ත ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ද එය අදාළ විය යුතු බව අපගේ අදහසයි. එසේ නැතහොත් කැමැත්තෙන් ලිංගිකව එකතු වුවත්, දරුවන් පිළිසිඳ ගැනීම, අඩු වයස් ගර්භණීභාවය, නීත්‍යානුකූල පියවරුන් නොමැති දරුවන් බිහි වීම, 13 වසරක අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට බාධා සිදුවීම වැනි ගැටලු රැසක් ඇති වේ.

මේ අනුව, ළමුන්ගේ ආරක්ෂාව සහ යහපත තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විවිධ නීති අතර පවතින පරස්පරතා ඉවත් කළ යුතු අතර, ඒ සඳහා මුස්ලිම් සහ උඩරට නීති ඇතුළුව සියලුම විවාහ නීති යටතේ අවම විවාහ වයස අවුරුදු 18ක් ලෙස වෙනස් කිරීම ඉතා වැදගත් වේ. ඒ සමගම ලිංගික කැමැත්ත පළ කිරීමේ නීතිමය අවම වයස ද අවුරුදු 18ක් බවට පත් කළ යුතුය.

ලිංගික කැමැත්ත පළකිරීමේ නීතිමය අවම වයස අවුරුදු 18ක් ලෙස නීති සම්පාදනය කර ඇති රටවල් කිහිපයක් පහත දැක්වේ.

  • ඉන්දියාව: ඉන්දියාවේ ලිංගික කැමැත්ත සඳහා නීත්‍යානුකූල වයස අවුරුදු 18ක් වන අතර, විශේෂයෙන් ළමා ලිංගික අපයෝජනය වැළැක්වීම සඳහා 2012 වසරේදී “Protection of Children from Sexual Offences Act (POCSO)” නමැති පනත සම්මත කිරීමෙන් පසුව මෙම නීතිය වඩාත් ශක්තිමත් විය.
  • ජපානය: ජපානය මෑතකදී ලිංගික කැමැත්ත සඳහා නීතිමය වයස අවුරුදු 13 සිට අවුරුදු 16 දක්වා ඉහළ නැංවීය. එහෙත්, ඇතැම් අවස්ථාවලදී ලිංගික ක්‍රියාවන් සඳහා නීතිමය ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් වයස අවුරුදු 18 දක්වා සලකා බැලීම් සිදු කෙරේ.
  • චිලී: චිලී රාජ්‍යයේ ලිංගික කැමැත්ත සඳහා නීතිමය අවම වයස අවුරුදු 18කි.
  • වියට්නාමය: වියට්නාමයේ ද ලිංගික කැමැත්ත සඳහා නීතිමය අවම වයස අවුරුදු 18ක් ලෙස නීතියේ දක්වා ඇත.

මීට අමතරව ඉරාකය, ලෙබනනය, ඊජිප්තුව, ආර්ජන්ටිනාව සහ ගෝතමාලාව වැනි රටවල් කිහිපයකද ලිංගික කැමැත්ත සඳහා නීතිමය වයස අවුරුදු 18ක් වේ.

බොහෝ රටවල් ලිංගික කැමැත්ත සඳහා නීතිමය අවම වයස අවුරුදු 16ක් ලෙස සලකන අතර, ශ්‍රී ලංකාවේද පවතින්නේ එම නීතියයි. නමුත් ඉහත සඳහන් කළ පරිදි, තම රටවල ළමා ආරක්ෂණය තහවුරු කිරීම සහ නීති පද්ධතියේ පවතින පරස්පරතා අවම කිරීම සඳහා ලිංගික කැමැත්ත සඳහා නීතිමය වයස අවුරුදු 18ක් දක්වා ඉහළ නංවා ඇති රටවල් ද ලෝකයේ පවතී.

බොහෝ සංවර්ධිත රටවල ලිංගික කැමැත්ත පළකිරීමේ අවම වයස අවුරුදු 16කි. උදාහරණයක් ලෙස, ඇමරිකා එක්සත් ජනපදයේ ලිංගික කැමැත්ත සඳහා නීතිමය අවම වයස ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වේ. බොහෝ ප්‍රාන්තවල එය අවුරුදු 16 ක් වුවත්, ඇතැම් ප්‍රාන්තවල අවුරුදු 18 කි.

ළමයින්ට ශාරීරික දඬුවම් ලබාදීම සම්බන්ධයෙන් දඬුවම් නියම කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයට ගෙන ආ සංශෝධන සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේදී 2025 සැප්තැම්බර් 25දා ඇමති බිමල් රත්නායක පැවසූ ආකාරයට ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ප්‍රවර්ධනය කරනු ලබන්නේ සංවර්ධිත බටහිර රටවල ලිංගික කැමැත්ත සම්බන්ධයෙන් පවතින සංස්කෘතිය විය හැකිය. එහෙත්, එවැනි සංස්කෘතියක් දරාගැනීමට හැකි ආර්ථික, සමාජමය, නීතිමය, ආරක්ෂක හා සංස්කෘතික පදනමක් ශ්‍රී ලංකාවේ නැත.

praja.lk
Social Sharing
අවකාශය නවතම