නේපාලය-කාර්කි සහ භූ දේශපාලනය

sushila karki nepal

-ෆවුස් මොහොමඩ්-

නේපාලයේ තරුණ කැරැල්ලෙන් පසු අභ්‍යන්තර හා බාහිර අභියෝග රැසක් ඉස්මතු කරමින් රට තුළ නව දේශපාලන වෙනසක් සිදුවී තිබේ. හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කිගේ නායකත්වය යටතේ ත්‍රිපුද්ගල කැබිනෙට්ටුවක් ද පිහිටුවා තිබේ. එහෙත් නේපාලයේ නව විදේශ ඇමැතිවරයා කවුරුන්දැයි මෙතෙක් තීරණය වී නැත. මේ අභියෝගාත්මක ඇමැති ධුරය සඳහා එරට හිටපු අමාත්‍යාංශ ලේකම්වරු සහ තානාපතිවරු කිහිපදෙනකු කෙරෙහි අන්තර්වාර රජයේ අවධානය යොමුවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරන බව කත්මණ්ඩු පුවත් සේවය වාර්තා කළේය. කවුරු විදේශ ඇමැති ධුරයට පත්වුවද, නේපාලයේ උද්ගත වී ඇති වත්මන් දේශපාලන පෙරළියත් සමඟ අභියෝග රැසකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි ද වාර්තා පළ වී තිබේ.

ඒ හැරුණු විට රජයේ තවත් අභියෝගයක් වී ඇත්තේ ලබන වසරේ මාර්තු මස 5 වැනිදා මහමැතිවරණයට දින තීන්දු කිරීමය. තරුණ විරෝධතාව අතරතුර සිදුවූ මාරාන්තික ප්‍රචණ්ඩත්වය හේතුවෙන් එරට විනාශ වූ ගොඩනැඟිලි සහ යටිතල පහසුකම් විශාල ප්‍රමාණයක් නැවත පිළිසකර කළ යුතුව ඇත. තවත් බාහිර අභියෝග රැසක් ද නේපාලයේ අන්තර්වාර අගමැතිනිය හමුවේ ඇතැයි වාර්තා වේ.

ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ විශේෂඥයන්ගේ අදහස වී ඇත්තේ නේපාලයේ ආසන්නතම අසල්වැසියන් වන ඉන්දියාවේ සහ චීනයේ සහයෝගය මෙන්ම අමෙරිකාව, යුරෝපා සංගමය, බ්‍රිතාන්‍යය, ජපානය සහ දකුණු කොරියාව වැනි රටවලින් සහයෝගයත් ලබාගැනීම මහමැතිවරණය සඳහා තීරණාත්මක සාධකයක් බවට පත්වනු ඇති බවය. නේපාලයේ විදේශීය ප්‍රතිපත්තියට බලපාන භූ දේශපාලනය කළමනාකරණය කරගැනීම සහ රට නැවත ගොඩ නැංවීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීම ද නව රජයට සහ විදේශ ඇමැතිවරයාට අභියෝගයක් වනු ඇතැයි ද අනාවැකි පළ වී තිබේ.

පරිපාලනය

තරුණ විරෝධතාවයෙන් පසු නව රජයක් ස්ථාපිත කරමින් සුෂිලා කාර්කි අන්තර්වාර අගමැතිනිය ලෙස දිවුරුම් දීමෙන් පසු ඇයට දෙස් විදෙස් පාර්ශ්ව තුළින් පුළුල් සහයෝගයක් සහ උණුසුම් සුබපැතුම් පළවීම රටේ සුබසිද්ධියට හේතුවනු ඇතැයි ද සඳහන් වේ. එය නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අගමැතිනිය ලද දිරිගැන්වීමක් ලෙසත් දේශපාලන විචාරකයෝ දකිති. තරුණ අරගලයකට නේපාලය තල්ලුවීම සහ රට දුෂ්කර තත්ත්වයකට ඇද වැටීම සම්බන්ධව එරට බොහෝ දේශපාලන විශේෂඥවරුන් අතර තවමත් කතාබහට ලක්වෙමින් පවතින බව ද වාර්තා වේ.

කලාපයේ නැඟී එන භූ දේශපාලනික ප්‍රවණතා ඇතුළු බාහිර තත්ත්වයන් නිවැරැදිව තක්සේරු කිරීමට හිටපු රජය අසමත් වීම සහ ඒ අනුව රටේ පරිපාලනය හැඩ ගැස්වීමට නොහැකිවීම තරුණ පිබිදීමට හේතුවී ඇතැයි නේපාලයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ හිටපු උපදේශකයා මෙන්ම විදේශ ලේකම්වරයා ද වූ ශංකර් දාස් බයිරගි ප්‍රකාශ කර තිබේ. නේපාලයේ විදේශ ප්‍රතිපත්තියේ අවුල්සහගත බව එම ඉරණමට රට ගොදුරුවීමට බලපෑ බව ඔහුගේ අදහස වී ඇත.

රටක විදේශ ප්‍රතිපත්තියක් පවත්වා ගැනීම යනු ද්විමාර්ගික අන්තර් ක්‍රියාකාරීත්වයක් බවත්, නේපාලය කෙරෙහි සෙසු රටවල ආකල්පය වටහා ගැනීම ද වැදගත් බව හිටපු විදේශ ලේකම්වරයා සඳහන් කර තිබේ. බාහිර බලවේග සහ මිතුරු රටවල හැසිරීම තක්සේරු කිරීමට නේපාලය අසමත් වූ බව ද ඔහුගේ අදහස වී ඇත. මිත්‍ර රටවල් වෙනස් වන තත්ත්වයන් පිළිබඳ අවබෝධයක් තිබිය යුතු බවත්, සෙසු රටවල ප්‍රතිපත්තීන් සහ ආකල්ප නේපාලයේ විදේශ ප්‍රතිපත්තිය හසුරුවීමට පටන් ගැනීම වර්තමාන දේශපාලන ව්‍යාකූලත්වයට අර්ධ වශයෙන් බලපෑ බවත් හිටපු විදේශ ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.

නේපාලයේ වත්මන් දේශපාලන වෙනස්වීමට භූ දේශපාලනික සාධක ද හේතු වන්නට ඇතැයි ද විදේශ ප්‍රතිපත්තීන් සම්බන්ධ විශේෂඥවරුගේ විශ්වාසය වී ඇති අතර, නව රජය මේ ගැටලුව විසඳා ගැනීමට පියවර ගත යුතුව ඇතැයි ද ප්‍රකාශ කර තිබේ. විදේශ ප්‍රතිපත්තීන් සම්බන්ධ විශේෂඥවරුගේ ප්‍රකාශය තහවුරු කරමින් ට්‍රිභුවාන් විශ්වවිද්‍යාලයේ නේපාල සහ දකුණු ආසියාතික අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ බහදූර් කාර්කි සඳහන් කර ඇත්තේ නව අගමැතිනියට දලායිලාමාගෙන් ඇතුළුව සුබපැතුම් පණිවුඩ ලැබුණු ආකාරය ජනතාව අතර සැකසංකා මතුවීමට හේතුවී ඇති බවය.

එම භූ දේශපාලනික අප­ැහැදිලිතාව ඉවත් කරගැනීම නේපාලයේ නව රජයට විශාල අභියෝගයක් වනු ඇතැයි ද, ඉන්දියාව, චීනය සහ අමෙරිකාව සමඟ සම්බන්ධතා සමතුලිත කරගත යුතු ආකාරය සහ එය ඉතා ප්‍රවේසම්සහගතව සිදු කළ යුතු ආකාරය සම්බන්ධව රජය දැඩි අවධානය යොමු කළ යුතුව ඇතැයි ද බහදූර් කාර්කි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. රට නැවත ගොඩ නැංවීම සඳහා නේපාලයට විශාල වශයෙන් ජාත්‍යන්තර සහයෝගය අවශ්‍ය වන බව පෙන්වා දී ඇති නේපාල සහ දකුණු ආසියාතික අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂවරයා, එම සහයෝගය එක් පාර්ශ්වයකින් පමණක් අපේක්ෂා කිරීම නේපාලයේ විදේශ ප්‍රතිපත්තියට බාධාවක් විය හැකි බවට ද අනතුරු අඟවා තිබේ.

සැකසංකා

කොවිඩ් වසංගතයෙන් පසු යථා තත්ත්වයට පත්වෙමින් තිබූ නේපාලයේ ප්‍රධාන ආර්ථික කොඳු නාරටිය වන සංචාරක ව්‍යාපාරයට පසුගියදා සිදුවූ තරුණ අරගලයෙන් සැලකිය යුතු බලපෑම් එල්ල වී ඇති අතර, විදෙස් සංචාරකයන් අතර නේපාලය කෙරෙහි පූර්ණ විශ්වාසයක් නැවත ගොඩ නැඟීම ද අන්තර්වාර රජය හමුවේ දැඩි අභියෝගයක් වනු ඇතැයි ආර්ථික විශේෂඥයන් අවධාරණය කර තිබේ.

නොවැම්බර් සහ දෙසැම්බර් යනු එරට සංචාරක ව්‍යාපාරයේ කාර්යබහුලම කාලවකවානුව වන බැවින් ඊට පෙර නේපාලයේ ප්‍රතිරූපය ගොඩනැංවීමේ වගකීම අන්තර්වාර රජයට ඇතැයි කත්මණ්ඩු අගනුවර කේන්ද්‍ර කරගත් දකුණු ආසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නිශ්චල් එන්.පාන්ඩේ ප්‍රකාශ කර තිබේ. සංචාරකයන්ගේ පමණක් නොව නේපාලය නැවත ගොඩනැඟීමේදී ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වාසය දිනා ගැනීම අත්‍යවශ්‍ය බව නේපාලයේ ප්‍රකට දේශපාලන විද්‍යාඥයකු සහ භූ දේශපාලන විශ්ලේෂකයකු වන සී.ඩී.භාට්ටා සඳහන් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තාවකින් කියැවේ.

හිටපු අගමැති ෂර්මා ඔලිගේ භූ දේශපාලනික ක්‍රියාමාර්ග වත්මන් තත්ත්වයට වගකිව යුතු බවට විශ්වාස කරන නේපාල සහ දකුණු ආසියාතික අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ බහදූර් කාර්කි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජපානය සමඟ දිගුකාලීන සංවර්ධන හවුල්කාරිත්වයක් ඇති නේපාලය නියෝජනය කරමින් චීනයේ පැවැති හමුදා සැමරුමට සහභාගි වීම අගමැති ෂර්මා ඔලි ගත් දුර්වල තීරණයක් බවය.

නේපාලයේ දේශීය දේශපාලනය ප්‍රවේසම්සහගතව කළමනාකරණය කර නොගන්නේනම් තත්ත්වය තවදුරටත් නරක අතට හැරීමට ඉඩ ඇති බව භූ දේශපාලන විශ්ලේෂක සී.ඩී. භාට්ටාගේ අදහස වී තිබේ. විරෝධතා සහ තරුණ කැරැල්ලකින් බිහිවූ රජයක් බැවින් නේපාලයේ අන්තර්වාර රජය අසල්වැසි රාජ්‍යයන් සහ ඉන් ඔබ්බට වඩාත් යහපත් සම්බන්ධතාවක් සහතික කරගත යුතුව ඇතැයිද ඔහු ප්‍රකාශ කර තිබේ. බාහිර අභියෝග රඳා පවතිනුයේ අභ්‍යන්තර දේශපාලනික වෙනස්වීම් මත බවත්, විදේශ ප්‍රතිපත්තීන් හැඩගැස්වීමේදී අන්තර්වාර රජයකට කළ හැකි කාර්යභාරය ඉතා සීමිත බවත් ඔහු අවධාරණය කර ඇත්තේ අගමැතිනිය හමුවේ ඇත්තේ සුළුපටු අභියෝග නොවන බව නොකියා කියමිනි.

එය එසේ වුවත් හිටපු අගවිනිසුරුවරිය අන්තර්වාර අගමැති ලෙස පත්වීම පෙන්නුම් කර ඇත්තේ ඉතිහාසය පුරා සිදුවූ ආකාරයට නේපාලයේ අගමැති ධුරය තවදුරටත් පිරිමි පාර්ශ්වයට පමණක් සීමා වූවක් නොවන බවය. එරට අගවිනිසුරු ධුරයට පත්වූ පළමු කාන්තාව ද වන 73 හැවිරිදි සුෂිලා කාර්කි අගමැතිනිය ලෙස පත්වීම ව්‍යවස්ථා විරෝධී බවට ලේබල්ගත කළද, එය කාලීන දේශපාලනික අවශ්‍යතාව අනුව සිදුවූවක් බැවින් එම විරෝධතාව වැදගත් නොවීය. කත්මණ්ඩු ටයිම්ස් පුවත් සේවය සඳහන් කර ඇත්තේ ප්‍රගතිශීලී සහ පුළුල් ඉදිරි දැක්මක් සහිත නේපාලය වැනි රටකට කාර්කිගේ පත්වීම ඓතිහාසික සන්ධිස්ථානයක් බවය. එහෙත් එහි ප්‍රගතිය පැහැදිලි වනු ඇත්තේ නේපාලය ගොඩ නැංවීමට ඇය විසින් ගනු ලබන පියවර මත බවද සඳහන් වේ. කෙසේ වෙතත් නේපාලයේ 2015 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ෆෙඩරල් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ ජාතික සභාව කාන්තාවන් සඳහා 33%ක නියෝජනයක් වෙන් කිරීමට සහ ප්‍රාදේශීය මට්ටමෙන් 40%ක නියෝජනයක් සහතික කිරීමට පියවර ගෙන ඇති බැවින් සුෂිලා කාර්කිගේ පත්වීම සම්බන්ධව එරට විද්වතුන් අතර සුභවාදී ආකල්ප ගොඩ නැඟී ඇතැයි ද වාර්තා වේ.

කාන්තා නියෝජනය

අනිත් අතට පෙර පැවැති රජයන් කැබිනට් මණ්ඩලයේ කාන්තා නියෝජනය නොසලකා හැරීම හේතුවෙන් පැන නැඟුණු එරට කාන්තා විරෝධතා සුෂිලා කාර්කිගේ පත්වීමත් සමඟ බොහෝ දුරට යටපත්වී තිබීම ද සැලකිය යුතු කරුණකි. කෙසේ වෙතත් ඇගේ ධුර කාලය සංකේතයක් පමණක්ද නොඑසේ නම් නේපාලයේ දේශපාලනික හැරවුම් ලක්ෂ්‍යයක් දැයි අවබෝධ කරගැනීමට තවත් මාස 6ක කාලයක් ඉතිරිව තිබේ. මේ තත්ත්වය මත ලබන වසරේ මාර්තු මස 5 වැනිදාට දින නියම වී ඇති නේපාලයේ මහමැතිවරණයේදී වැඩි කාන්තා නියෝජනයක් සිදුවනු ඇතැයි දැනටමත් අනාවැකි පළවී ඇති අතර, රටේ නායකත්වයට පත්වූයේ නීතිය සම්බන්ධ පුළුල් දැනුමක් සහ අත්දැකීම් සම්භාරයක් සහිත කාන්තාවක් බැවින් එවැනි පෙරළියක් සිදුවීමේ ඉඩකඩ වැඩි බවටද වාර්තා පළ වී තිබේ.

නේපාලයේ දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම, විදේශ සම්බන්ධතා විධිමත්ව කළමනාකරණය කිරීම සහ ආර්ථික ස්ථාවරත්වයට සැලකිය යුතු බලපෑමක් සිදුවන එරට සංචාරක ව්‍යාපාරය නැවත නඟා සිටුවීම වැනි ප්‍රධාන අභියෝග ජයගැනීමට කාන්තාවක් ලෙස ඇය විසින් ගනු ලබන තීන්දු තීරණ අනාගත නේපාලයේ ප්‍රතිරූපය ගොඩනැඟීමේදී තීරණාත්මක සාධකයක් වනු ඇත. එය අන්තර්වාර රජය ජාත්‍යන්තර වශයෙන් දැඩි පරීක්ෂාවට ලක්වන කරුණක් ද වනු ඇතැයි එරට දේශපාලන විශේෂඥයෝ කියති.

www.dinamina.lk
Social Sharing
අවකාශය නවතම