කරන්නාගොඩ විත්තියෙන් ඉවත් කිරීමේ නීතිපති තීරණයේ නීත්‍යනුකූලභාවය සොයන්න අවසර!

wasantha karannagoda case

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචි තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ විත්තිකරුවෙකු වශයෙන් නම් කර සිටි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ එම නඩුවෙන් ඉවත් කිරීමට නීතිපතිවරයා ගෙන තිබූ තීරණයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (සැප්තැම්බර් 15 වන දා) අවසර දුන්නේ ය.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අර්ජුන ඔබේසේකර හා සම්පත් විජේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබී ය.

ඉන් අනතුරුව මෙම අභියාචනා පෙත්සම ජනවාරි මස 30 වන දා විභාගයට ගැනීමට ද අධිකරණය දින නියම කළේ ය.

පෙත්සම්කාර දෙමව්පියන් කියා සිටින්නේ, 2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී පැහැරගෙන යාමෙන් අනතුරුව තම දරුවන් අතුරුදන් කිරීමේ චෝදනාව මත හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදාවේ බුද්ධි අංශ සාමාජිකයින් 14 දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නීතිපතිවරයා 2019 වසරේදී නඩුවක් ගොනු කළ බව ය.

ඉන් අනතුරුව එම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී නඩුවේ විත්තිකරුවෙකු වශයෙන් නම් කර සිටි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ එම නඩුවෙන් ඉවත් කිරීමට නීතිපතිවරයා තීරණය කළ බවත් පෙත්සම්කරුවෝ චෝදනා කළහ.

නීතිපතිවරයාගේ එම තීරණය අභියෝගයට ලක් කරමින් තමන් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළත් එම පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සම්කරුවන් කියා සිටියේ ය.

නීතිපතිවරයා විසින් වසන්ත කරන්නාගොඩ විත්තිකරුවකු ලෙස නම් කරමින් නඩු පැවරීමට තීන්දු කරනු ලැබුවේ, ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි තිබූ නිසා යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් එසේ තිබියදී කරන්නාගොඩ එම නඩුවෙන් ඉවත් කිරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් සඳහන් කළේ ය.

නීතිපතිවරයාගේ මෙම අත්තනෝමතික ක්‍රියාකලාපය නීතියට පටහැනි බව තීන්දු කොට සිය දරුවන් අතුරුදන් කිරීමට අදාළව ගොනු කර තිබෙන නඩුවේ විත්තිකරුවෙකු වශයෙන් නම් කර සිටින වසන්ත කරන්නාගොඩ ඉන් ඉවත් කිරීමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

www.bbc.com

Social Sharing
අවකාශය නවතම