
ලෝක අමද්‍යප දිනය දා හෝටලයකට අයුතු ලෙස අතුළු වී මත්පැන් බෝතලයක් ඉල්ලා, පසුව එය නොදුන් හේතුව මත එම හෝටලයේ කළමණාකරු බලහත්කාරයෙන් රැගෙනගොස් අමානුෂික ලෙස පහරදී මරාදැමීමේ සිද්ධියක් සම්බන්ධව පොලොන්නරුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි පොළොන්නරුව කොට්ඨාස දූෂණ මර්දන අංශයේ එවකට හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු විතිතිකාර පොලිස් නිලධාරීන් තිදෙනෙකු වරදකරුවන් කරමින් වසර හතක සිර දඩුවම් නියම කරන ලදී.
වසර 21 පුරා මහාධිකරණ විනිසුරුවන් 11 දෙනෙකු ඉදිරියේ වරින් වර විභාගයට ගැනුණු මෙම නඩුවේ තීන්දුව පොළොන්නරුව මහධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා පසුගියදා ප්‍රකාශයට පත් කළාය.
මෙම නඩු කටයුත්තේ පළමු විත්තිකරු වූ පොළොන්නරුව කොට්ඨාස දුෂණ මර්දන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා නඩු විභාගය පැවැති කාලසීමාව අතරතුර මියගොස් ඇති අතර, ඉතිරි සැකකරුවන් තිදෙනා වූ සැරයන්වරයෙකුට සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට රුපියල් 15,000 බැගින් දඩ මුදල් සහ වසර 7 බැගින් වූ බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබේ.
2004 වසරේ ලෝක අමද්‍යප දිනයදා පොළොන්නරුව කොට්ඨාස දුෂණ මර්දන අංශයේ එවකට හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේ හෝටලයකට මත්පැන් බෝතලයක් ලබාගැනීම සඳහා පැමිණ තිබෙනවා. එම අවස්ථාවේදි හෝටලේ කළමනාකරු විසින් පොලිස් නිළධාරින්ට පවසා තිබුණේ අමද්‍යප දිනය හේතුවෙන් මත්පැන් ලබා නොදෙන බවයි.
එය පැවසිමත් සමඟ උරණ වු පොලිස් නිළධාරින් කළමනාකරු බලහත්කාරයෙන් රැගෙන ගොස් අමානුෂික ලෙස පහරදී කෲර වධහිංසා පමුණුවා තිබු අතර, ඒ හේතුවෙන් ඔහු මරණයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගිය හර්මන් ක්වින්ටස් පෙරේරා නමැති හෝටල් කළමණාකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබුණේ ඔහුගේ ශරිරයේ බාහිර තුවාල 26ක් තිබූ බවත් ඉන් තුවාල 14ක් බරපතල තැලිම් තුවාල බවයි.
ඒ අනුව කෘෘර හා අමානුෂික වදහිංසාව හා සාපරාධී මනුෂ්‍ය ඝාතන චෝදනාව යටතේ පොළොන්නරුව කොට්ඨාස දුෂණ මර්දන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට එරෙහිව 1994 අංක 22 දරණ කෘෘර වදහිංසාවට එරෙහි පනත හා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්ති යටතේ නීතිපති විසින් අධිචෝදනා ගොනු කර තිබුනි.
