ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික විරෝධතා මැද ලාංකික ප්‍රජාවගේ අනාගතය කෙබඳු වේද ?

ඕස්ට්‍රේලියාව තුළ මේ වන විට සංක්‍රමණික ප්‍රජාවට එරෙහිව විරෝධතාවයක් එල්ල වෙමින් පවතී. සංක්‍රමණික ප්‍රජාවට එරෙහි පෙළපාලි සිඩ්නි, මෙල්බර්න් සහ අනෙකුත් ප්‍රධාන නගරවල පැවැති අතර පෙළපාලිකරුවන් සහ ප්‍රති-විරෝධතාකරුවන් අතර ගැටුම් කිහිපයක් ද ඇති විය.

සංක්‍රමණික ප්‍රජාව අතර ඕස්ට්‍රේලියාවට සුවිශේෂී ස්ථානයක් හිමිව තිබිණි. ඒ ඕස්ට්‍රේලියාවේ පිහිටි විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට, රැකියා කිරීම සඳහා විශාල පිරිසක් වාර්ෂිකව සංක්‍රමණය වීමට තෝරා ගන්නා රටවල් අතර ඕස්ට්‍රේලියාව ඉහළින් පවතින බැවින් ය.

2023-24 වසරේ දී එරටට පැමිණි මුළු සංක්‍රමණික සංඛ්‍යාව 667,000 ක් වූ බවත් ඉන් 207,000 දෙනෙකු ශිෂ්‍ය වීසා මත පැමිණි පුද්ගලයින් බවත් ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය සඳහන් කර සිටියි.

‘මට මගේ පවුලේ අය ගැන බයක් දැනෙනවා’

මේ අතර ඕස්ට්‍රේලියාවේ ඇතිවී තිබෙන සංක්‍රමණික විරෝධතාවය සම්බන්ධයෙන් එරට ජීවත් වන ශ්‍රී ලාංකික ප්‍රජාව සමග බීබීසී සිංහල අදහස් විමසීමට කටයුතු කළෙමු.

එහිදී අදහස් දැක්වූ රංජිත් (සැබෑ නම නොවේ) කියා සිටියේ මේවන විට ඇතැම් ඕස්ට්‍රේලියානු ජාතිකයින් තුළ සංක්‍රමණික ප්‍රජාව සම්බන්ධයෙන් ඇතිවී තිබෙන විරෝධතාවය ගැන තමන්ට බියක් ඇතිවී තිබෙන බවය.

“මම ඕස්ට්‍රේලියාවට ආවේ මීට අවුරුදු 35කට උඩදී. මම ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා අද වෙනකම් ජීවත් වුණේ නිදහස් ජීවන රටාවක කියලා කිව්වොත් හරි. ඒත් දැන් තියෙන්නේ එහෙම තත්ත්වයක් නෙමෙයි කියලා මීට සතියක දෙකක ඉදලා ඇති වුණ තත්ත්වයත් එක්ක මට තේරුම් ගිහින් තියෙන්නේ.”

”පහුගිය කාලය පුරාවට පලස්තීන – ඊශ්‍රායල් යුද ගැටුම නිසා පලස්තීනයට සහය පළ කරලා ඕස්ට්‍රේලියාවේ විරෝධතා සංවිධානය කළා, ඒ වගේම යුදෙව් ආගමික ස්ථාන වලට පහර දුන්නා. මේ සිදුවීම් එක්ක තමයි අද වෙන කොට ඕස්ට්‍රේලියාවේ නගරවල සංක්‍රමණික ප්‍රජාවට විරුද්ධව විරෝධතා පැවැත්වුනේ.”

”මම දැන් මගේ පුතාලට කියලා තියෙන්නේ ඔයාලා පාරේ යද්දී කොයිවෙලාවෙත් කල්පනාවෙන් යන්න කියලා. මොකද මේ ප්‍රශ්නේ උඩ අපිට අල්ලන් ගැහුවොත් අපි මොකද කරන්නේ? ඒ ගැන බයක් මගේ හිතේ තියෙනවා.”

”ඕස්ට්‍රේලියාවට එන ඕනෑම සංක්‍රමණිකයෙක්ට මේ රටේ ආණ්ඩුවෙන් උදව් ලබෙනවා. ඒ වගේම මේ රටේ නීතිය හරියට අකුරට පිළිපදින්න අවශ්‍යයි. ජොබ් එකක් නැත්නම් සෝෂල් සර්විස් එකේ රෙජිස්ටර් වුනාම සති දෙකකට වතාවක් ඒ වගේ අයට ආණ්ඩුවෙන් මුදලක් දෙනවා. ඒ වගේම ඉන්නේ කුලී ගෙදරක නම් ආණ්ඩුවෙන් ඒ කුලී මුදල ගෙවනවා.” ඔහු පැවසුවේය.

‘අපේ රටේ අය ඉස්සරහටත් මේ රටට එන්න ඕන’

බීබීසී සිංහල වෙත වැඩිදුරටත් අදහස් දැක්වමින් රංජිත් කියා සිටියේ ඕස්ට්‍රේලියාවට පැමිණෙන ඇතැම් ලාංකිකයින්ගේ විනය විරෝධී ක්‍රියාවන් නිසා ඉදිරියේදී එරටට පැමිණීමට සිටින ලාංකිකයින්ට යම් බාධාවක් ඇතිවීමට ඉඩක් ඇති විය හැකි බවට තමන් අනුමාන කරන බවය.

“සමහර වෙලාවට අපි දැකලා තියෙනවා මෑතකදී ඉදලා ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට එන අපේම අය කරන සමහර පුද්ගලයින්ගේ වැඩ නිසා ලංකාවේ නම කැත වෙනවා. එහෙම වුණොත් අපේ රටට ඕස්ට්‍රේලියාවේ තියන පිළිගැනීම නැති වෙන්න පුළුවන්.”

”උදාහරණයක් විදිහට ගත්තම අපිට ආරංචි වෙනවා සමහර ලංකාවේ අය කරන වැරදි ගැන. හොරෙන් බස් වල යනවා, කඩවල් වලින් බඩු හොරකම් කරන ඒවා වගේම මත්පැන් බීලා ගැටුම් ඇති කර ගන්නවා වගේ විනය විරෝධී හැසිරීම් නිසා ඒ අයට විරුද්ධව ඕස්ට්‍රේලියාවේ බලධාරීන් කටයුතු කරපු අවස්ථාවන් ගැනත් දැන ගන්න ලැබෙනවා. මේවා දිගටම වෙන්න ගියාම ප්‍රශ්න ඇතිවෙනවා.”

”මම කියන්නේ ඉස්සරහට අපේ රටෙන් ඕස්ට්‍රේලියාවට මිනිස්සු එන්න ඕන. මොකද අපි මේරටට ඇවිල්ලා ආපහු වෙනත් රටවල් වලින් ඕස්ට්‍රේලියාවට කට්ටිය ගෙන්න දෙන්න එපා කියන මතයේ නෙමෙයි මම ඉන්නේ.” ඔහු කියා සිටියේය.

‘මම ටිකක් පුදුම වුණා මේ අය හිතන විදිහ ගැන’

මේ අතර ඕස්ට්‍රේලියාවේ වසර 35 කට ආසන්න කාලයක් ජීවත්වන ශ්‍රී ලාංකික කාන්තාවක් වන කාන්ති (සැබෑ අනන්‍යතාවය නොවේ) බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ සංක්‍රමණික ප්‍රජාව සම්බන්ධයෙන් ඇතැම් ඕස්ට්‍රේලියානු ජාතිකයින් තුළ දැන් පවතින මතය සම්බන්ධයෙන් තමන් පුදුමයට පත්වූ බවය.

“මේ වගේ විරෝධතා මීට අවුරුදු 10කට කලිනුත් එක පාරක් ඇතිවුණා කියලා මට මතකයක් තියෙනවා. හැබැයි ඒක නම් ටික දවසකට පස්සේ නිවිලා ගියා. ඒත් දැන් තත්ත්වය වෙනස් වුණාට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැතිව නතර වෙයි කියලා හිතෙනවා.”

”හැබැයි මේ අවස්ථාවේදී ඕස්ට්‍රේලියානු ජාතිකයින් සංක්‍රමණික ප්‍රජාව ගැන දක්වපු අදහස් ගැන අහලා මමත් පුදුම වුණා. මේ වගේ දියුණු රටක මිනිස්සු හිතන විදිහ ගැන. මොකද මමත් මගේ මහත්තයත් අවුරුදු ගානක් මේ රටේ ටෙලිකමියුනිකේෂන් සෙක්ටර් එකේ වැඩ කරලා තියෙනවා. මම නම් දැන් විශ්‍රාමිකයි. ඒ වුණාට මගේ මහත්තයා තවම වැඩ කරනවා. මේ රටේ ඉස්සර සංක්‍රමණිකයින් රටට ගෙන්න එපා කියල හිතන අය හිටියේ හරි අඩුවෙන්.”

”ඕස්ට්‍රේලියාව කියන රට දියුණු වෙන්නේ මේ රටේ ඉන්න විදේශ සංක්‍රමණිකයින් නිසයි. මොකද මේ රටේ දුෂ්කර රැකියා ගොඩක් කරන්නේ සංක්‍රමණික ප්‍රජාව කියලයි මම දන්නේ.”

”කොහොම වුණත් දැන් අපේ කාලය නම් ගෙවීගෙන යනවා. නමුත් අපේ දරුවන්ට එයාලගේ දරුවන්ට මේ රටේ ඉදිරියේදී මොන වගේ තත්ත්වයක් ඇතිවෙයිද කියලා කියන්න අපිට බැහැනේ. ඒ ගැන හිතන කොට බයක් හිතේ තියෙනවා. මොකද ඕස්ට්‍රේලියාව කියන්නේ ලංකාවට පස්සේ අපේ දෙවන මව්බිම. අපි ලංකාවට වගේම ඕස්ට්‍රේලියාවට ගොඩක් ආදරෙයි.” ඇය අදහස් දක්වා සිටියාය.

මේ අතර ඕස්ට්‍රේලියාවේ දැනට අධ්‍යාපන කටයුතු සඳහා ගොස් සිටින තරුණියක් වූ මෝක්ෂා (සැබෑ නම නොවේ) කියා සිටියේ තමන්ගේ බලාපොරොත්තුව උසස් අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසුව ඕස්ට්‍රේලියාවේ කාලයක් ජීවත්වීම වුවද මේ වන විට එය සැබෑ නොවන තැනට පත්වනු ඇතැයි යන බියක් ඇතිවී තිබෙන බවය.

“මම ඕස්ට්‍රේලියාවට එන්නේ ස්ටුඩන්ට් වීසා එකකින්. මම ආසාවෙන් ඉන්නේ කැම්පස් එකේ අවුරුදු 04 ඉගෙන ගෙන ඩිග්ග්‍රී එක කම්ප්ලීට් කරලා මේ රටේ අවුරුදු කිහිපයක් හරි ජොබ් එකක් කරන්න. ඒක මගේ ආසාවක් වගේම ලොකු මුදලක් වියදම් කරලා එන නිසා ආර්ථික පැත්තෙන් ශක්තියක් ඇති කර ගන්න ඕන. ඒත් දැන් තියෙන විදිහේ සංක්‍රමණිකයින්ට විරුද්ධව මේ රටේ මිනිස්සු නැගිටිනවා නම් ඉස්සරහට අපේ අනාගත බලාපොරොත්තු නැති වෙයි කියල බයයි.” ඇය පැවසුවාය.

සංක්‍රමණික ප්‍රජාවට එරෙහිව ඕස්ට්‍රේලියාවේ විරෝධතා ඇතිවුයේ ඇයි ?

සංක්‍රමණික ප්‍රජාවට එරෙහිව විරෝධතා සංවිධාන කර තිබුනේ ‘March for Australia’ නමින් හැඳින්වෙන සංවිධානයකි.

ඔවුන් විසින් හෝබාර්ට්, මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බේන්, සිඩ්නි, ටවුන්ස්විල් ඇතුළු ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල මෙම විරෝධතා සංවිධානය කර තිබිණි.

“අපගේ වීදිවල ඕස්ට්‍රේලියානු විරෝධී වෛරය, විදේශීය ගැටුම් සහ බිඳවැටෙන විශ්වාසය වර්ධනය වන ආකාරය දැකිය හැකි අතර, මහාපරිමාණයෙන් සිදුවන සංක්‍රමණයන් හේතුවෙන් අපගේ ප්‍රජාවන් එකට එකතු කර තිබූ බැඳීම් විනාශ කර දමා ඇත. මෙම පා ගමන ඕස්ට්‍රේලියාව ගොඩනඟන ලද ජනතාව, සංස්කෘතිය සහ ජාතිය වෙනුවෙන් සහ එහි අනාගතය තීරණය කිරීමේ අපගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීමක්.” යැයි මෙම විරෝධතා සංවිධාන කරන ‘March for Australia’ නම් වූ සංවිධානය සිය වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රතිචාරය

මෙම විරෝධතා රැලි සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය සිය විරෝධය පළකර තිබිණි. “අපේ සමාජ සහජීවනය බෙදීමට සහ අඩපණ කිරීමට උත්සාහ කරන පුද්ගලයින්ට අපේ රටේ කිසිදු ඉඩක් නැහැ” යැයි ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් කියා සිටියේ ය.

“අපිව බෙදීමට උත්සාහ කරන අයට සහ සංක්‍රමණික ප්‍රජාවන් බිය ගැන්වීමට උත්සාහ කරන අයට එරෙහිව අප සියලු ඕස්ට්‍රේලියානුවන් සමඟ සිටගන්නවා. අපි බය වෙන්නේ නැහැ. ජාතිවාදය සහ ජනවාර්ගික කේන්ද්‍රවාදය මත පදනම් වූ මෙම අන්ත දක්ෂිණාංශික ක්‍රියාකාරීත්වයට නූතන ඕස්ට්‍රේලියාවේ කිසිම ඉඩක් නැහැ.” යැයි ඕස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය ඈන් ඇලි මෙම විරෝධතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසීය.

BBC සිංහල

 

Social Sharing
අවකාශය නවතම