චෝදකයින්ගේ අරමුණම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමයි – නීතිඥ දුලාන් දසනායක

බන්ධනාගාර රැඳවියන් මුහුණ දෙන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා සමාජයේ සාකච්ඡාවට ලක්ව තිබෙන අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද මේ සම්බන්ධයෙන් වසර දෙකක පමණ ගැඹුරු පර්යේෂණයක් කර විශාල වාර්තාවක් 2022 දී නිකුත් කළේය. මෙම වාර්තාව රජයට භාර දී ඇති අතර එහි නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ද යෝජනා කර තිබේ.

ඇප නොදීමේ අවුල

“ලංකාවේ බන්ධනාගාර රැඳවියන්ගෙන් 70%ක් පමණ රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් ලෙස සැලකෙනවා, මේක සලකා බැලිය යුතු විශේෂ තත්ත්වයක්. මේ පසුබිම තුළ රක්ෂිත බන්ධනාගාරවල තත්ත්වය දැඩිව පිරිහෙමින් තිබෙන අතර එහි තදබදය සහ පීඩාවන් ද ඉහළ යමින් තිබෙනවා. ඇතැම් පුද්ගලයින් නිකරුණේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් ඔවුන්ගේ ජීවිත අවුල් වෙන අතර ඇතැම් අවස්ථාවල ඔවුන්ගේ ජීවිත අහිමි වීම පවා සිදුවෙලා තියෙනවා. විශේෂයෙන් මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ තරුණ – තරුණියන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම හේතුවෙන් ඔවුන්ගේ ජීවිත විනාශ වෙන බවට සමාජය තුළ පොදු අදහසක් තිබෙනවා” නීතිඥ දුලාන් දසනායක කතිකාවට ප්‍රවේශයක් ගනිමින් පැවසුවේ ය.

මෙහිදී දුලාන් පෙන්වා දුන්නේ බන්ධනාගාර තදබදය නිර්මාණය වීමට නඩු ප්‍රමාදය,  රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සහ මර්ධනකාරී නීති කිහිපයක් මූලිකව බලපා ඇති බවයි.

ඇප පනත තිබෙන්නේ සැකකරුවන්ට ඇප ලබා දීමට වුවත් වෙනත් පනත් කිහිපයක ආවරණය ලබමින්, ඉතාම සූක්ෂමව ඇප ලබා නොදී සිටීමට චෝදක පක්ෂ පියවර ගන්නා බව කී දුලාන් 96%ක් පමණ නඩු පැවරීම සිදු කරන පොලිසිය මේ අතර ඉදිරියෙන් සිටින බව ද පෙන්වා දුන්නේය.

බොරු නඩු

මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු පැවරීමේ දී මත්ද්‍රව්‍ය සන්තකයේ නොමැතිව ‘බොරු නඩු’ පැවරීම සිදුවන බව කී නීතිඥ දුලාන් පොලිසියට ලබා දී ඇති ටාගර්ට් නිසා මෙම අනීතික කටයුතු සිදුවන බව ද පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ ‘යුක්තිය මෙහෙයුම’ මේ සඳහා හොඳම උදාහරණය බව ද පෙන්වා දුන්නේය.

“මේ අතර සිදුවන තවත් සුලභ දෙයක් තමයි මත්ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි කරලා උසාවියට වාර්තා කිරීම. ප්‍රමාණය ඉහළ ගිය ගමන් මහේස්ත්‍රාත්වරයාට ඇප ලබාදීමේ සීමාවක් තියෙනවා, ඇප අවශ්‍ය නම් නව නීති අනුව අභියාචනාධිකරණයට යන්න වෙනවා. අනෙක් අතට මත්ද්‍රව්‍ය ප්‍රමාණය ආදිය තීන්දු කරන්නේ රස පරීක්ෂක වාර්තාව හරහා, සාමාන්‍ය ක්‍රමවේදය අනුව රස පරීක්ෂක වාර්තාව ලැබෙන්න සැලකිය යුතු කාලයක් ගත වෙනවා. ඒ අනුව රස පරීක්ෂක වාර්තාව ලැබෙන තෙක් අනිවාර්යයෙන්ම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමක් සිදුවෙනවා” මෙහිදී දුලාන් පෙන්වා දුන්නේ රස පරීක්ෂක වාර්තා ලැබීම ප්‍රමාද වීමට එම ආයතනයට ප්‍රමාණවත් පහසුකම් සහ නිලධාරීන්ගේ හිඟය දැඩිව බලපා ඇති බවයි.

රස පරීක්ෂණ වාර්තා

රස පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට යොමු කරන මත්ද්‍රව්‍ය වල ප්‍රමාණය වෙනස් වීම සහ ඇතැම් විට මත්ද්‍රව්‍ය ලෙස නම් කර යොමු කරන ද්‍රව්‍යවල ඊට හාත්පසින්ම වෙනස් අන්තර්ගතයන් තිබීම පිළිබඳව හිටපු අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ පවා සිය කණස්සල්ල පළ කළ බව ද දුලාන් මෙහිදී පෙන්වා දුන්නේය.

මෙහිදී නීතිඥ දුලාන් අවධාරණය කළේ රස පරීක්ෂණ වාර්තා කඩිනමින් ලබා දෙන්නේ නම් චෝදක පාර්ශ්වය මීට වඩා සැලකිලිමත් වන බවයි.

“ඔවුන්ගේ අරමුණ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරලා දඞුවම් ලබාදීමයි. රස පරීක්ෂණ වාර්තා කඩිනමින් ලබා දෙන්නේ නම් මේ අරමුණ ඉටුකර ගැනීම අසීරු වෙනවා. මේ නිසා මත්ද්‍රව්‍ය සම්බන්ධ රස පරීක්ෂණ වාර්තා කඩිනමින් ලබා දෙන වැඩපිළි‍වෙළක් සකස් කිරීම අත්‍යවශ්‍යයි” නීතිඥ දුලාන් වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

රක්ෂිත බන්ධනාගාරවල තදබදය පාලනය කිරීම සහ බන්ධනාගාරවල සිදුවන අකටයුතුකම් පාලනය කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ලබා දී ඇති නිර්දේශ කඩිනමින් ක්‍රියාත්ම කිරීමේ අවශ්‍යතාව ද නීතිඥවරයා මෙහිදී දැඩිව අවධාරණය කළේය.

“මේක පහසු නැහැ, මර්ධනකාරී නීති වගේම සමජ මතයත් වෙනස් කළ යුතුයි” ඔහු දැඩිව අවධාරණය කළේය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ 241 වැනි කතිකාව වූයේ ‘ලංකාවේ බන්ධනාගාර තුළ මුල් බැසගෙන ඇති නොපෙනෙන සත්‍ය’ මාතෘකාවයි. මෙම සංවාදය සදහා නිර්මාණවේදී මො.ල. සෙනෙවිරත්න, සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, නීතිඥ සේනක පෙරේරා, නීතිඥ දුලාන් දසනායක සහ මනෝජි වඩුගොඩපිටිය මහත්මිය සහභාගී වූ අතර නීතිඥ ගයත්‍රී නවරත්න විසින් සංවාදය මෙහෙයවනු ලැබුවා ය. එම සංවාදය ඇසුරින් මෙම ලිපිය සකස් කර ඇත.

සංවාද සටහන – තුෂාල් විතානගේ

 

Social Sharing
අවකාශය නවතම