ක්‍රියාකාරී මට්ටමේ නැති රාජ්‍ය ආයතන 33ක් වසා දමයි

දැනට ක්‍රියාකාරි මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායන් 33ක් අදියර දෙකක් යටතේ විධිමත් ලෙස ඈවර කර වසා දැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මුදල්ල ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමතිවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මේ තීරණය ගෙන ඇත. එම අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනු ලබන විශේෂ ඈවර කිරීමේ ඒකකයක අධීක්ෂණය යටතේ මෙම ආයතන විධිමත් ලෙස ඈවර කර වසා දැමීමට නියමිතය.

මේ වසා දැමෙන රාජ්‍ය ව්‍යවසායන් දැනටමත් අක්‍රිය තත්ත්වයට පත්ව ඇති ඒවා බව ඊයේ (04) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

මහජන සේවා සැපයීම සහ උපායමාර්ගික ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම වැනි අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා කලකට පෙර පිහිටුවන ලද ඇතැම් රාජ්‍ය ව්‍යවසායයන් ඒවා පිහිටුවීමේ අරමුණු වර්තමානය සමග නොගැළපීම සහ වෙළෙඳපොළ අවශ්‍යතා සමග නොගැළපීම යන හේතූන් මත තවදුරටත් පවත්වාගෙන යෑම ප්‍රායෝගික නොවීම සහ ඌන මූල්‍ය කාර්යසාධනය ආදී හේතු නිසා අක්‍රිය තත්ත්වයට පත්ව තිබේ.

ජාතික ආර්ථිකයට හෝ රාජ්‍ය සේවා සැපයීමට අර්ථවත් දායකත්වයක් ලබා නොදෙන ව්‍යවස්ථාපිත ආයතන, රාජ්‍ය සංස්ථා හා රජය සතු සමාගම් වැනි විවිධ ඛාණ්ඩයන්ට අයත් රාජ්‍ය ව්‍යවසායයන් රජයට වැය බරක් වන පරිදි තවදුරටත් පවත්වාගෙන යෑම වෙනුවට එම ආයතන ඈවර කර වසා දැමීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.

මෙසේ වසා දැමීමට නියමිත ආයතන අතර ඒෂියන් ගේම්ස් පුද්ගලික සමාගම, තුරුසවිය අරමුදල, සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම, ලංකා ලොජිස්ටික්ස් සමාගම, කොමන් වෙල්ත් ගේම්ස් හම්බන්තොට පුද්ගලික සමාගම, මාගම්පුර පෝර්ට්ස් මැනේජ්මන්ට් කම්පැනි පුද්ගලික සමාගම, මිහින් ලංකා පුද්ගලික සමාගම, ටෙක්නො පාර්ක් ඩිවලොප්මන්ට් කම්පැනි පුද්ගලික සමාගම, මාධ්‍ය පුහුණු ආයතනය, ලංකා සිමෙන්ති සමාගම සහ එක්ස්ප්‍රස් වේ ට්‍රාන්ස්පෝට් පුද්ගලික සමාගම යන ආයතන පවතින බවද මේ ආයතන සම්පූර්ණ ලැයිස්තුව අදාළ අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරනු ඇති බවද ඇමැති නලින්ද ජයතිස්ස මහතා කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත – දිවයින

Social Sharing
ආර්ථික නවතම