
“නීතිය සුරකිමු – සාමය අගයමු” තේමාව යටතේ තිඹිරිගස්යාය, පොලිස් ක්‍රීඩාංගණයේ පැවති 159 වන පොලිස් දින සැමරුම් උත්සවය ඊයේ (03) සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.
එහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පවසා සිටියේ පොලිස් සේවාවේ දූෂිත නිළධාරීන් අතලොස්සක් සිටින බවත්, ඔවුන්ට නිවැරදි වෙන්න බැරි නම්, පොලිස් සේවයෙන් ඉවත් වන ලෙසත්, එසේ ඉවත් නොවන්නේ නම් එවැනි දූෂිත නිලධාරීන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් පවසා සිටියා ය.
අපරාධයට හිමි දඬුවම කවදාද, කොතැනද කියා භේදයකින් තොරව දඩුවම් ලබා දීමට වත්මන් රජය කටයුතු කරන බවත්, කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් වැසී යාමට ඉඩ නොතබන බවත්, අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කාලය කිසිදු බාධාවක් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ ප්‍රකාශ කළාය.
පොලිස් නිලධාරීන් සිටිනුයේ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව කටයුතු කිරීමට වුවත් අතළොස්සක් එම වගකීම පැහැර හැර ඇති බැවින් එම පැරණි පුරුද්ද අත්හරින ලෙස ඉල්ලා සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
එසේ නොමැති නිලධාරීන්ට රාජකාරියෙන් ඉවත් වන ලෙසත් එසේ ස්වේච්ඡාවෙන් ඔවුන් ඉවත් නොවන්නේ නම් සේවයෙන් ඉවත් කිරීමට සාකච්ඡාකර තිබෙන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
අද සමාජමය අභියෝගයක්ව පවතින මත්ද්‍රව්‍ය උවදුර සහ නීති විරෝධී අවිආයුධ යොදා ගනිමින් සිදු කරන අපරාධ වැළැක්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට විශාල වගකීමක් පැවරී තිබෙන බව සඳහන් කරන ජනාධිපතිවරයා, තම රාජකාරිය නිසි ලෙස ඉටු කරන පොලිස් නිලධාරින් ආරක්ෂා කිරීමට රජය කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් නොබියව පෙරට එන ලෙස පොලිස් නිලධාරීන්ට ආරාධනා කළේය.
