ලෝක පොල් දිනය, “කප්තුරු සවිය”

ලෝක පොල් දිනය අදට යෙදී ඇත. පොල් නිෂ්පාදනය කරන රටවල් අතුරින් ප්‍රමුඛ පෙළේ රටක් ලෙස කැපී පෙනෙන ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් ඵලදාව බිලියන 2.8ත් බිලියන 3ත් අතර පවතී. ඉන් 70%කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන්ගේ පරිභෝජනය සඳහා භාවිතා වෙයි. අතිරික්ත 30%ක ප්‍රමාණය (බිලියන 0.9) අප රටට විදෙස් විනිමය උපයන, පොල් ආශ්‍රිත අගය එක්කළ නිෂ්පාදන ආකාරයෙන් අපනයනයට යොමු වේ. 2024 වසරේදී පමණක් පොල් අපනයන හරහා රුපියල් බිලියන 258ක පමණ ආදායමක් ලබා තිබේ.

Asia and Pacific Coconut Community (APCC) ආයතනය විසින් 2009 සැප්තැම්බර් 2 වැනි දින ප්‍රථම වරට ලෝක පොල් දිනය සමරන ලදී. APCC ආයතනය මුලින් නම් කරන ලද්දේ Asian Coconut Community ලෙස වුවත් ආසියාවෙන් පිටත රටවල් සංවිධානයට සම්බන්ධ වීමට පටන් ගත් විට නම Asia and Pacific Coconut Community ලෙස වෙනස් විය. අන්තර්ජාතික පොල් ප්‍රජාවේ සාමාජික රටවල් 21 ක් ඇතුළත් වන අතර ශ්‍රී ලංකාව එහි ප්‍රමුඛතම සාමාජික රාජ්යයකි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක පොල් දින සැමරුමට සමගාමීව “රටම සරු කරයි නිරතුරු – කප්තුරු සවිය” උතුරේ පොල් ත්‍රිකෝණය දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව අද (02) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පුදුකුඩුඉරිප්පු නගරයේදී පැවැත් විය.

2025 වර්ෂයේ උතුරු පළාතේ අක්කර 16,000ක පොල් වගා කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කෙරෙන අතර 2027 වර්ෂය වනවිට එම ප්‍රමාණය අක්කර 50, 000ක් දක්වා ඉහළ නැංවීමට නියමිතය.

උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය, පලෙයි නගරයේ ආරම්භ කිරීමද මේ හා සමගාමීව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන අතර පුදුකුඩුඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට ඇති ප්‍රදේශයේ පොල් සංවර්ධන අධිකාරිය මගින් පවත්වන පොල් ආශ්‍රිත ප්‍රදර්ශනයද ජනාධිපතිවරයා අතින් විවෘත කිරීමට නියමිතය.

පොල් නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වීමේ සංකල්පය දිරිමත් කිරීම මගින් ශ්‍රී ලංකාවට ඉහළ විදේශ විනිමයක් ලබාගත හැකි වනු ඇති. සෑම ශ්‍රී ලාංකිකයකුම සිය ජාතික වගකීමක් ලෙස සලකා තම නිවසේ පොල් පැළයක් සිටුවීම අදාළ ඉලක්කය හඹා යෑමේ පහසුම මාර්ගයයි.

වසරකට පොල් මෙට්රික් ටොන් මිලියන 15කට වැඩිය නිෂ්පාදනය කරන ඉන්දුනීසියාව ලොව විශාලත ම පොල් නිෂ්පාදකයා වන අතර දෙවනියට ලොව විශාලතම පොල් නිෂ්පාදනය කරන රට වන්නේ පිලිපිනයයි. ශ්‍රී ලංකාව මේ වන විට පස්වන ස්ථානයේ රැඳී සිටී.

පොල් ගස හා ලක්වැසියන් අතර ඇත්තේ ඉතා සමීප සම්බන්ධතාවකි. පොල් ගසේ හැම කොටසකින්ම කිසියම් හෝ ප්‍රයෝජනයක් ගත හැකිය. මේ හේතුව නිසා ම පොල් ගස කප්රුක යනුවෙන් හැඳින්වේ. සංස්කෘත භාෂාවෙන් කල්ප වෘක්ෂ යනුවෙන් ද පොල් ගස හැඳින්වේ. එහි අර්ථය වන්නේ ‘සිතූ පැතූ සම්පත් ලබාදෙන ගස’ යන්නයි.

පොල් ඉරටුවේ සිට හැම කොටසක්ම කෑමට බීමට සහ උපකරණ නිෂ්පාදනයට යොදාගන්නා අතර දේශිය වෙදකමේදී ඖෂධයක් ලෙස පොල් මුලද යොදා ගනී.

පොල් වල විද්‍යාත්මක නාමය කොකස් නුසිෆෙරා (Cocos nucifera) නම් වේ. තාල වර්ගයට අයත් ඝර්මකලාපීය ගසක් වන පොල් ගස සම්භවය වී ඇත්තේ මධ්යම ඇමරිකාවේ හා අග්නිදිග ආසියාවේ බව පිළිගැනේ. ලංකාවට පොල් පැමිණ ඇත්තේ නාවිකයන් මාර්ගයෙන් හෝ දියවැල් මාර්ගයෙන් බව වාර්තා වේ.

උපන් රට වෙනුවෙන් සිය ජාතික වගකීම ඉටුකිරීම සඳහා ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන හොඳම අවස්ථාවක් ලෙස මෙය හඳුනාගත හැකි වේ. ජාත්‍යන්තර පොල් දිනය නිමිත්තෙන් ගීතය ද නිර්මාණය වී තිබේ. චිත්‍රාල් සෝමපාල එම ගීතය ගයා ඇති අතර පද රචනය කැලුම් ශ්‍රී මාල් වෙතිනි.

 

 

 

 

 

Social Sharing
අවකාශය නවතම