
පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පවසන ආකාරයට රට පුරා අනාරක්ෂිත තත්ත්වයේ පසුවන ළමුන් 14,834ක් පමණ වාර්තාවී ඇති බවයි. මෙම කරුණු අනාවරණය වූයේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (28) පැවති එම දිස්ත්‍රික් බහු පාර්ශ්විය මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනුරුත්ථාපන වැඩසටහනේදී ය.
පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක එහිදී පවසා සිටියේ “අවදානම් ළමයින් සම්බන්ධයෙන් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් කටයුතු කරනවා. ඒ වගේම පොලිස් ස්ථානවලින් මේ වෙනකොට ළමයින් හඳුනගෙන අපිට යොමු කරපු ප්‍රමාණයකුත් ඉන්නවා. මේකෙදී අපි දකින ලොකුම ගැටලුව තමයි හැම තැනම අන්තර් සම්බන්ධීකරණය වෙනවා අඩුවීම. විශේෂයෙන් මත්ද්‍රව්‍ය වගේ ඒකට බඩෝවිට සහ තවත් ප්‍රදේශවලට නිලධාරීන්ටවත් යන්න පුළුවන්කමක් නැහැ. ළමයා ගොඩනගනවා වගේම පවුල කේන්ද්‍ර කරගත් රැකවරණ සැලැස්මක්, සංවර්ධන සැලැස්මක් සකස් කරලා අපි සියලු පාර්ශ්ව එකතුවෙලා වැඩ කළොත් හොඳයි කියලා තමයි මම යෝජනා කරන්නේ.”
මෙහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, “ඇත්ත කතාව.. පොලීසිය කියන තොරතුරු අනුව.. කවුරුවත් මේකට ගිහින් හොයලා බලන්නේ නැහැ. ඔය කියන කතාව මම පිළිගන්නේ නැහැ. හේතුව මේ අය අතිශය අනාරක්ෂිත තත්ත්වයට පත්වෙලා තියෙනවා. මේකට සක්‍රීය වැඩසටහනක් අවශ්‍යයි. මෙතනින්නේ පාතාලය නිර්මාණය වෙන්නේ. අවුරුදු 15වේ අය ඉන්නවා දැන් පාතාලේ. දරුවන් පාසල් යන්නේ නැතුව ඉන්නකොට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ඇවිත් ඩැහැගෙන යනවා. මේ රටේ ඕන තරම් ආයතන තියෙනවා දරුවන් ගැන වැඩකරන. මේක ඔහොම හඳුනාගෙන ඉන්නවා ඉන්නවා කියන එක හරියන්නේ නැහැ. මම කියන්නේ වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. මේකට සක්‍රීය වැඩසටහනක්.. නිශ්චිත ආයතනයක් අවශ්‍යයි. මේකට සල්ලි..ජනාධිපතිතුමාට කිව්වොත් ඕන තරම් සල්ලි දෙයි.”
නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය මහතා එහිදී පවසා සිටියේ “මේ ළමුන් අනාරක්ෂිත වෙලා තිබුණේ මව්වරුන් විදේශගතවීම නිසා. වර්තමානයේ ඒක වෙනස්වෙලා තියෙනවා.. ගොඩාක් මව්වරු ලංකාවේ ඉන්නවා හැබැයි ඔවුන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවෙලා. උදේට දරුවන්ට පාසල් යන්න ඒ අය අවදි වෙන්නේ නැහැ. එවැනි හේතු ගොඩාක් බලපාලා තියෙනවා. ඔබේසේකරපුර.. වැලිකඩ පොලිස් වසම පිටුපස අපි මෙවැනි තත්ත්වයන් හඳුනගත්තා.”
