මහජන විශ්වාසය තහවුරු කිරීමට අධිකරණය කාර්යක්ෂම සේවාවක් බවට පත්කරනවා  – නව අගවිනිසුරු

අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා අධිකරණවලින් කාර්යක්ෂම සේවාවක් සැපයීම අත්‍යවශ්‍ය බවත්, ඒ වෙනුවෙන් මුළු රටේ ම අධිකරණ කටයුතු ඩිජිටල්කරණය කිරීම වේගවත් කිරීමට පියවර ගන්නා බව නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රකාශ කළේ ය.

ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවති නව අග විනිසුරුවරයා පිළිගැනීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය අමතමින් මෙම අදහස් නව අගවිනිසුරු විසින් ඉදිරිපත් කරන ලදී.

මෙම උත්සවය සදහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්, මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන් පිරිසක් ද සහභාගි වූහ. එමෙන් ම ජනාධිපති නීතිඥවරු, නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරු සහ සෙසු නීතිඥවරු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම චාරිත්‍රානුකූල නිල උත්සවය අමතමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන කියා සිටියේ, අධිකරණ කෙරෙහි පවතින මහජන විශ්වාසය වර්ධනය කිරීම සඳහා අධිකරණවලින් කාර්යක්ෂම සේවාවක් සැපයීම අත්‍යවශ්‍ය බව ය. එසේ ම, ඇතැම් අධිකරණ කාර්යාලවල සිදුවන දූෂණ අක්‍රමිකතා මෙම ඩිජිටල්කරණ වැඩසටහන තුළින් පිටු දැකීමට හැකියාව සැලසෙන බවත් ඔහු කියා සිටියේ ය.

ඒ සඳහා අධිකරණ ක්‍රියාදාමය ඩිජිටල්කරණය කිරීමේ කටයුතු වේගවත් කිරීමට පියවර ගෙන තිබෙන බවත්, ඒ සඳහා රජය අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කර තිබෙන බවත් පැවසීය.

අදාළ කටයුතු කඩිනමින් මෙහෙයවීම සඳහා අධිකරණ අමාත්‍යවරයා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු පාර්ශව කීපයක් සමග තමන් දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ද, අධිකරණ කටයුතු ඩිජිටල්කරණය කිරීම තුළින් අධිකරණවල සේවාව ලබා ගැනීමට පැමිණෙන ජනතාවට මෙන් ම නීතිඥවරුන්ටත් විශාල සහනයක් සැලසෙන බව ද ඔහු පැවසුවේ ය. ඊට අමතරව අධිකරණ කටයුතු ගැන සාමාන්‍ය මහජනතාවට ද දැනුවත් විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

නීතිඥ පවුල් පසුබිමක් රහිතව නීතිඥ වෘත්තියට පිවිසි තමන් ශ්‍රී ලංකාවේ 49 වන අග විනිසුරුවරයා වශයෙන් පත්වීම ගැන සතුටට පත්වන බවත්, එම තනතුරු සඳහා තමන්ගේ නම නිර්දේශ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ස්තූතිය පුද කරන බවත් අග විනිසුරුවරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර, මහ ජනතාවට ඵලදායී අධිකරණ සේවාවක් සලසා දීම සඳහා තමන් සමග අත්වැල් බැඳගන්නා ලෙස නව අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන නීතිඥ ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ ය.

මේ අතර, නව අගවිනිසුරුවරයා පිළිගනිමින් නීතිපති පාරින්ද රණසිංහ පැවසුවේ, වත්මන් අග විනිසුරුවරයා නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ සේවකයෙකු වශයෙන් සිය වෘත්තිය කටයුතු ආරම්භ කර අධිකරණ ක්ෂේත්‍රයට විශාල මෙහෙයක් කළ පුද්ගලයෙකු බව ය.

මෙරට ඉතිහාසයේ ඉතා ආන්දෝලානාත්මක තීන්දු ගණනාවක් ඔහු ප්‍රකාශයට පත් කර තිබෙන බවත්, ඒ තුළින් ඔහුගේ පුළුල් දැනුම හා අත්දැකීම් මනාව පිළිබිඹු වන බවත් නීතිපතිවරයා සඳහන් කළේ ය.

 

Social Sharing
නවතම පුවත්