
වෙනත් පුද්ගලයකුට හිමිකමක් ඇති ඉඩමක් ඔහු එම ඉඩමේ පදිංචි වී සිටියදීම ඔප්පුවක් සකස් කොට වෙනත් අයෙකුට අලෙවි කිරීම ඇතුළු චෝදනාවලට වරදකරු කරනු ලැබූ නීතිඥවරයකුට ජීවිත කාලය සඳහාම නීතිඥ වෘත්තියේ යෙදීම තහනම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
ඒ අනුව වසර 37ක් පුරාවට නීතිඥවරයකු ලෙස කටයුතු කර තිබූ දෙනියාය ප්‍රධාන වීදියේ පදිංචි ධම්මික අඹේවෙල නමැත්තාට එකී තහනම් නියෝගය පනවා ඇති අතර කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මධුරසිංහගේ චන්ද්‍රපාල නමැත්තා විසින් දිවුරුම් ප්‍රකාශයක් මගින් කළ පැමිණිල්ලක් අනුව එම නීතිඥවරයාට එරෙහිව වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ පවරා තිබූ නඩුවක් විභාග කළ එස්. තුරෙයිරාජා, මේනකා විජේසුන්දර හා සම්පත් විජේරත්න යන විනිසුරු මඬුල්ල එම තහනම පනවනු ඇත. ඊට අමතරව එකී පැමිණිලිකරුට රුපියල් 66,000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසට ද එම නීතිඥවරයාට නියෝග කර ඇත.
ඒ අනුව පැමිණිළිකරු අක්කර භාගයකින් යුත් එම ඉඩම් කොටස මිලදී ගෙන ඔප්පුව සකස් කරන ලෙස දන්වා එම නීතිඥවරයාට ඒ සඳහා වැයවන ගාස්තු ද ගෙවා තිබූ නමුත් ඔහුගේ නමට ඔප්පුව සකස් නොකොට එම ඉඩමේ අයිතිකරු විදේශ රටක පදිංචිව සිටින බව හඟවා වෙනත් අයකුට විකුණා එම ගැනුම්කරු නමින් ඔප්පුවක් සකස් කොට ලබාදී ඇත.
නව ගැනුම්කරු අක්කර භාගයකින් යුත් එම ඉඩම් කොටස සුද්ද පවිත්‍ර කිරීමට පැමිණි අවස්ථාවේදී වෙනත් අයකු එහි පදිංචිව සිටිනු දැක ඒ පිළිබඳව විමසීමේදී අදාළ වංචාව අනාවරණය වී ඇති බවට වාර්තා වේ.
විත්තිකාර නීතිඥවරයාග් නම නීතිඥ නාමාවලියෙන් කපා හැරීමට පියවර ගන්නා ලෙසට සෙසු සාමාජික විනිසුරුවරුන් දෙදෙනාගේ එකඟතාවය ඇතුළු විනිසුරු එස්. තුරෙයිරාජා මහතා නිකුත් කළ එම තීන්දුව මගින් වැඩිදුරටත් නියෝග කොට ඇති අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ චතුර ගල්හේන මහතා පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ජයවීර මහත්මිය පෙනී සිටියාය.
