
ගාසාවේ සිටින මාධ්‍යවේදීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ආහාර සපයා ගැනීමට නොහැකි වීම පිළිබඳව බීබීසී පුවත් සහ ප්‍රමුඛ ප්‍රවෘත්ති ආයතන තුනක් දැඩි කනස්සල්ල පළ කර ඇති බවට බීබීසී වාර්තා කරයි.
ගාසාවේ සිට ගැටුම පිළිබඳව වාර්තා කරන මෙම මාධ්‍යවේදීන්ට වර්තමානය වන විට සාගතයට මුහුණ දෙන අතර “ඔවුන් විසින් ආවරණය කරනු ලබන ජනතාවගේ තත්ත්වයට ම” පත්ව ඇතැයි බීබීසී පුවත්, ඒජන්ස් ෆ්‍රාන්ස්-ප්‍රෙස් (ඒඑෆ්පී), ඇසෝසියේටඩ් ප්‍රෙස් (ඒපී) සහ රොයිටර්ස් යන ආයතන ඒකාබද්ධව නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වේ. ඊශ්‍රායලය බීබීසී ප්‍රවෘත්ති ඇතුළු විදේශීය මාධ්‍යවලට ගාසා වෙත මාධ්‍යවේදීන් යැවීමට ඉඩ නොදෙන බැවින් ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතන ගාසා තීරයේ දේශීය වාර්තාකරුවන් මත යැපෙන අතර ගාසාවේ මහා සාගතයක් ඇති වන බවට ජාත්‍යන්තර ආධාර සංවිධාන සහ මානව හිමිකම් කණ්ඩායම් 100කට අධික සංඛ්‍යාවක් අනතුරු අඟවා ඇති පසුබිමක මෙවැනි තත්ත්වයක් වාර්තා වේ.
ගාසා මානුෂීය පදනම (GHF) විසින් පවත්වාගෙන යනු ලබන මතභේදාත්මක නව ආධාර පද්ධතියක් ස්ථාපනය කිරීමට එක්සත් ජනපදය සමග එක්ව ඊශ්‍රායලය උපකාර කළ අතර සති අටකට පෙර GHF ආධාර මධ්‍යස්ථාන ක්‍රියාත්මක වීම ආරම්භ කළ දා සිට ඒ අවට ඝාතන සිය ගණනක් වාර්තා වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට ගාසාහි ජනගහනයෙන් හතරෙන් එකක් සාගතයකට සමාන තත්ත්වයන්ට මුහුණ දී සිටින බවයි.
