
වෙසක් පොහොය දිනය දා ජනාධිපති පොදු සමාව යටතේ අධිකරණයෙන් නිදහස් වූ රැඳවියාට අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා වසර 7ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් ද නියම කළ අතර තවද පැමිණිලිකාර වෛද්‍යවරයාට රුපියල් ලක්ෂ හතලිහක වන්දි ගෙවන ලෙසටද නියෝග කර ඇත.
මෙරට ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක කළමනාකරු ලෙස සිටිමින් ඔහු අදාළ මූල්‍ය ආයතනය තුළ වෛද්‍ය එස්. ඩබ්ලිව්. ඒ. ගාමිණි විමලානන්ද මහතා තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ තිස් පහක පමණ මුදලක් බැංකුවකින් මුදල් ලබා ගැනීමට භාවිත කරන ලේඛනයක් කූඨ ලෙස සකසමින් ලබා ගෙන සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා දෙකට අදාළව මෙම දඬුවම පැනවී ඇත.
ඒ අනුව විත්තිකාර ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න බැංකුවකින් මුදල් ලබා ගැනීමට භාවිත කරන ලේඛනයක් කූඨ ලෙස සකස් කර මුදල් ලබා ගැනීමේ චෝදනාවට වසර පහක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට තවත් වසර දෙකක බරපතළ වැඩ සහිත අනිවාර්ය සිර දඬුවමක් නියම කර ඇත.
ඊට අමතරව මෙම නඩුවේ පැමිණිලිකාර වෛද්‍ය එස්.ඩබ්ලිව්. ඒ. ගාමිණී විමලානන්ද මහතාට මුදලින් රුපියල් ලක්ෂ හතළිහක වන්දියක් ගෙවන ලෙසට ද එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් තවත් මාස දහයක සිර දඬුවමක් ද නියම කළේය. මහාධිකරණ විනිසුරුවරයා මෙසේ නියෝග කළේ විත්තිකාර අතුල තිලකරත්නට එරෙහිව පැවැති මෙම නඩුවේ විභාගය අවසන් කර එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා අදාළ නීති කෘත්‍ය අනුරාධපුර මහාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීය
මෙලෙස බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූ ඩබ්ලිම්. එම්. අතුල තිලකරත්නට එරෙහිව මූල්‍ය වංචා සිද්ධිවලට අදාළව අනුරාධපුර මහාධිකරණයේ පමණක් තවත් නඩු 6 ක් පවතින අතර මූල්‍ය වංචා සිද්ධිවලට අදාළවම අනුරාධපුර මහේස්ත්‍රත් අධිකරණය හමුවේ ද තවත් නඩු 22 ක් පවතින බවට වාර්තා වේ.
මූල්‍ය වංචාවලට අදාළව විත්තිකාර අතුල තිලකරත්න එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින මෙම නඩුවලට අදාළව විත්තිකාර අතුල තිලකරත්න වංචා කර ඇති බව කියන මුදල දළ වශයෙන් රුපියල් කෝටි පනහකට අධික බව අධිකරණයේ දී කියැවුණු අතර මෙම නඩුවල පැමිණිලිකරුවන් අතර ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන්, වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් පොලිසියේ උසස් නිලධාරීන් රජයේ පරිපාලන නිලධාරීන් සහ විවිධ ප්‍රභූ පුද්ගලයන් රැසක් සිටීම විශේෂත්වයකි.
විත්තිකාර ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න මෙතරම් විශාල මුදලක් වංචා කර ඇත්තේ මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක කළමනාකරු ලෙස සිටිමින් බවත් වැඩි පොලී ලබා දෙන බව පවසා විත්තිකාර අතුල තිලකරත්න මෙම මූල්‍ය වංචා සිදුකර ඇති බව අධිකරණ නඩු විභාගවලදී හෙළි විය.
විත්තිකාර අතුල තිලකරන්න සේවය කළ මූල්‍ය ආයතනයේ මෙලෙසම කෝටි ගණන් මුදල් තැන්පත් කර එම මුදල් සහ ප්‍රතිලාභ අහිමි වූ තවත් ප්‍රභූ පුද්ගලයන් රැසක් සිටින බවත් ලැජ්ජාව හේතුවෙන් ඔවුන් නීතිමය ක්‍රියා මාර්ගවලට පිවිස නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්වකීය විමර්ශනවල දී අනාවරණ කරගෙන තිබිණි.
පසුගිය වෙසක් පොහොය දා විත්තිකාර අතුල තිලකරත්න ජනපති පොදු සමාව යටතේ නිදහස් කර ඇති බව දන්වමින් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අනුරාධපුර මහාධිකරණයට යොමු කළ ලිපියක් සලකා බලා විත්තිකාර අතුල තිලකරත්න මහාධිකරණයෙන් නිදහස්ව ගිය පසුව ඔහු විදේශ ගතව ඇති බව පසුගිය දිනක නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.
එහෙත් විත්තිකාර අතුල තිලකරත්නට නිදහස්ව යාමට ප්‍රශ්න ගත ලිපියක් අනුරාධපුර මහාධිකරණයට යොමු කළ එවකට අනුරාධුපර බන්ධනාගාර අධිකාරිවරයාව සිටි මොහාන් කරුණාරත්නට එරෙහිව පැවැති නඩුව එදිනම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ තමන් විවෘත අධිකරණයේ සිටින බව අතක් ඔසවමින් විත්තිකාර අතුල තිලකරත්න අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතාට දැනුම් දුන්නේය.
විත්තිකාර ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්නට බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වීමට අදාළ මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය අනුරාධපුර මහාධිකරණය හමුවේ පැවැති අතර නීතිපතිවරයා විත්තිකරුට අධිචෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණයට යොමු කර තිබිණ. පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ අධිනීතිඥ ගිම්හානි හිරුණිකා මහත්මිය පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ සුරංග මොහොට්ටි මහතා පෙනී සිට ඇත. තලවතුගොඩ හෝකන්දර පදිංචි වෛද්‍ය එස්. ඩබ්ලිව්. ඒ. ගාමිණි විමලානන්ද මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන මෙහෙයවා විත්තිකාර අතුල තිලකරත්න මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව ඇප මත මුදා හැර සිටියේය.
සිර දඬුවම් නියම වූ විත්තිකාර ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න හොරොව්පොතාන කල්පේ ප්‍රදේශයේ මුල් පදිංචිකරුවකු වන අතර අනුරාධපුරයේ තාවකාලික පදිංචිකරුවෙකි. විත්තිකාර අතුල තිලකරත්න වෙසෙක් පොහොයදා ජනපති පොදු සමාව යටතේ නිදහස් කර ඇති බව පවසමින් නීතියට පටහැනි බව කියන ප්‍රශ්න ගත ලිපියක් අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කළ බවට චෝදනා එල්ල වූ අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනගාර ගත කෙරිණ. දැනට ඔහු සිටින්නේ අධිකරණය මගින් නියම කළ දැඩි ඇප කොන්දේදේසි මතය. මොහාන් කරුණාරත්න මහතා මේ වනවිට අනුරාධපුර බන්ධනාගාර අධිකාරි තනතුරින් අනිවාර්ය නිවාඩු යවා ඇති බවට වාර්තා වේ.
