අභියාචනාධීකරණය තොරතුරු අයිතිය තවදුරටත් සහතික කරයි

කිසියම් රාජ්‍ය ආයතනයක් මහජන මුදල් වැය කර සිදු කරන කටයුත්තක් සම්බන්ධයෙන් ජනතාව තොරතුරු ඉල්ලා සිටින විට එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කිසිදු රාජ්‍ය ආයතන ප්‍රධානියකුට නීතිමය හිමිකමක් නොමැති බව අභියාචනාධිකරණය ඓතිහාසික තීන්දුවක් දෙමින් තොරතුරු දැනගැනීමේ ජනතාව සතු අයිතිය තහවුරු කර තිබේ.

එවැනි තොරතුරු නිකුත් කරන ලෙස තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව නියම කළ විට එම තොරතුරු අනිවාර්යයෙන්ම ලබා දිය යුතු බවද මෙම ඓතිහාසික නඩු තීන්දුවේ සඳහන් කර තිබීමද විශේෂිතය.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ශ්‍රී ලංකා තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද නියෝගයක් අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් තුනක් ගාස්තුවට යටත් කරමින් නිෂ්ප්‍රභා කිරීමෙන් අනතුරුවය.

මෙම සුවිශේෂී නඩු තීන්දුව ලබා දුන්නේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන රත්නප්‍රිය ගුරුසිංහ සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසිනි.

ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධව ජනාධිපති මාධ්‍ය අංශයේ සේවය කරන පිරිස පිළිබඳව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ විස්තර ඉල්ලා සිටියද, එය මීට පෙර ප්‍රතික්ෂේප වූ පසුබිමක මෙම තීන්දුව ලැබීම සුවිශේෂී සිදුවීමක් ලෙස විචාරකයන් පෙන්වා දෙයි.

මෙම නඩු තීන්දුව මඟින් රාජ්‍ය ආයතනවල විනිවිදභාවය සහ වගවීම තහවුරු වන අතර, මහජනතාවට තොරතුරු ලබා ගැනීමේ අයිතිය තවදුරටත් ශක්තිමත් වනු ඇති අතර ජනතාව ඒ වෙනුවෙන් ක්‍රියාත්මකවීමේ වැදගත්කම ද ඔවුන් අවධාරණය කරයි.

Social Sharing
නවතම පුවත්