ශ්‍රී ලංකාව මානව සංවර්ධන දර්ශකයේ 89 වැනි ස්ථානයට!

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ඉකුත් 06 වනදා නිකුත් කෙරූ 2025 වසරට අදාළ මානව සංවර්ධන වාර්තාවට අනුව ශ්‍රී ලංකාව 89 වැනි ස්ථානයට පත් වී ඇති අතර ඒ රටවල් 193ක් අතරිනි.

2022 වසරේදී ශ්‍රී ලංකාව ස්ථානගත වී සිටියේ එම ලැයිස්තුවේ 88 වස ස්ථානය වන අතර ඒ අනුව මෙවර එක් ස්ථානයකින් ශ්‍රී ලංකාව පහළ බැස තිබේ. ශ්‍රී ලංකාව මානව සංවර්ධන දර්ශක අගය 0.776 ක් ලෙස සටහන්ව පවතී. ශ්‍රී ලංකාව රටක් ලෙස ‘ඉහළ මානව සංවර්ධන’ ශ්‍රේණියට ඇතුළත්ව සිටියද 2015 වසර සිට ගත් කළ එම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව අනුව ශ්‍රී ලංකාව ස්ථාන 08 කින් පසුබෑමට ලක්ව ඇත.

සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ආදායම යන මූලික සාධක 03 මානව සංවර්ධන දර්ශක‍ය තීරණය කරන සාධක වන අතර ඒ තුළින් රටක් දිගුකාලීනව ඇගයීමට ලක් කෙරේ.

2010 සිට 2023 වසර දක්වා සාමාන්‍ය වාර්ෂික වර්ධනය 0.28%ක් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ මානව සංවර්ධන දර්ශක‍ වර්ධන වේගය සතුටුදායක වේගයක් පෙන්වා නැත.
2020 වසරේ දී 0.780 හි උපරිම මානව සංවර්ධන දර්ශක අගයට ළඟා වූ පසු, ශ්‍රී ලංකාව මානව සංවර්ධන දර්ශකයේ නොකඩවා පහත වැටීමක් පෙන්නුම් කර ඇති අතර 2023 වසරේ දී එම දර්ශකය 0.776 දක්වා පහත වැටිණි.

එසේවුවත් දකුණු ආසියාතික රටවල් හා සසඳා බලන කළ ශ්‍රී ලංකාව තවමත් සතුටු දායක තත්වයක පසුවේ. මෙවර වාර්තාවේ දී අසල්වාසී ඉන්දියාව සහ බංග්ලාදේශය 130 වැනි ස්ථානයෙත් ඉරානය 75 වන ස්ථානයේත්, මාලදිවයින 93 වන ස්ථානයේත්, භූතානය 125 වැනි ස්ථානයේ පසුවේ.

Social Sharing
නවතම පුවත්