“20 ගැන පාර්ලිමේන්තු විවාදයට වැඩිපුර පැය 3 ක් දෙනවා” – ජී.එල් පීරිස්

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පැවැත්වෙන බවත් ඒ සදහා සාමාන්‍ය පාර්ලිමේන්තු දිනවලට වඩා පැය 3ක් වැඩි පුර විවාද කිරීමට ඉඩ ලබා දී ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුවේ දී ඊයේ (18) පැවති වැඩසටහනකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිණි. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

“විසිවන සංශෝධනය පිළිබදව වර්තමාන තත්ත්වය තමයි ළබන අගහරුවාදා 20 වන දා පාර්ලිමේන්තුව ‍රැස් වෙනවා. ගරු කථානායක තුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුම්වත් කරනවා. දැනට ගෙන ඇති තීරණය අනුව බදාදා හා බ්‍රහස්පතින්දා සම්පූර්ණ විවාදයක් පැවැත්වෙනවා. වැඩිපුර වේලාව ලබා දීලා. ඒ කියන්නේ බදාදා හා බ්‍රහස්පතින්දා සාමාන්‍යයෙන් උදේ පැයක් වෙන් කර තියෙන වාචික ප්‍රශ්නවලට පිළිතුරු දීම සාමාන්‍යයෙන් කෙරෙන්නේ නෑ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු කටයුතු අවසන් කරන්නේ 4.30ට නමුත් මේ දින දෙකේ සවස 7.00 වෙනතුරු විවාදය පැවැත්වෙනවා. වැඩිපුර පැය 3ක් දීලා විවාදය පවත්වනවා. එතකොට අවසාන ඡන්දය ගන්න පුලුවන් වෙනවා 22 හවස. ඒක තමයි පක්ෂ නායකයන් හා පාර්ලිමේන්තුවේ තීරණය ඒ අනුව කටතු කෙරෙනවා.”

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Social Sharing
නවතම