සෞඛ්‍ය අමාත්‍යාංශය කොරෝනාසාධිත සුව විරුවන් අත හැරලාද?

දෙවතාවක්ම රැල්ල නැගුනු වසංගතයකට ගොදුරු වූවන්ට ප්‍රතිකාර කිරීමේ පෙරමුණේම හිඳිමින් කොරෝනා වෛරස් ආසාදිත වූ  සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි සැලකිල්ල නොදක්වන බවට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

“නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් අර සාමාන්‍ය ජනතාවට දෙන අවධානය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දෙන්නේ නෑ.”

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය එම චෝදනාව කළේ   ඔක්තෝබර් 13 අඟහරුවාදා  කොළඹදී පැවැත්වු මාධ්‍ය හමුවකදීය.

මේ වන විට දිවයිනේ රෝහල් කිහිපයකම සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ සාමාජිකයන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව පෙන්වා දෙන වෘත්තිය සමිති නායකයා අවධාරණය කරන්නේ ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට හෝ සෞඛ්‍ය බලධාරීන්  පියවර ගෙන නොමැති බවයි.

“දැන් ජාතික රෝහලේ අද වෙන කොට හෙද නිලධාරීන් වාට්ටු අංක 3 සහ වාට්ටු අංක 69 ඒ වගේම VMOT එකේ ශෛල්‍යාගාරයේ රෝගීන් වාර්තා උනා. ආසාදිතයින්. එතකොට ඒ වාර්තා උනාම  ඒ කාර්ය මණ්ඩලය. ඒ වාට්ටුවේ, යුනිට් එකේ කාර්ය මණ්ඩලය සහ රෝගීන්  ආශ්‍රිතයින්.  මේ ආශ්‍රිතයින් එහෙම නම් නිරෝධායනය කරන්න ඕනේ. PCR ටෙස්ට් ටික කළා. නමුත්, මේ ගොල්ලෝ නිරෝධායනය කරන්න කටයුතු කළේ නෑ.”

හොරණ තත්වය ‘භයානකයි’

හොරණ රෝහලෙන් කොරෝනා වෛරස්  ආසාදිත රෝගීන් වාර්තා වූ විට කඩිනමින්  එම වාට්ටුව වසා දැමීමටවත් කටයුතු නොකළ බව පෙන්වා දෙන වෘත්තිය සමිති නායකයා අවධාරණය කරන්නේ  මෙය ඉතා භයානක තත්වයක් බවයි.

ලෝකයේ බොහෝ දියුණු රටවල රෝගය ව්‍යාප්ත වී මිය ගිය ප්‍රමාණය ඉහළ ගියේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂා කර නොගත් නිසා බව පවසන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති එහිදී  ප්‍රශ්න කළේ එවැනි ආකාරයෙන් මෝඩ ලෙස මේ මොහොතේ සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන්නේද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවන  බවයි.

” දැන් මට ඊයේ දවසේ දිගටම අපේ රෝහල් කාර්ය මණ්ඩලය කතා කළා. ඊයෙත් කතා කෙරුවා. අදත් කතා කෙරුවා ඒ ගොල්ලෝ අහන්නේ  සෞඛ්‍ය අමාත්‍යාංශය මේක අත ඇරලද කියලා.”

කන්න බොන්නත් නෑ

කොරෝනා වෛරස් ආසාදිත රෝගීන්ට  ප්‍රතිකාර කරන කාර්ය මණ්ඩලවලට අවශ්‍ය ආහාර පාන රෝහල ඇතුලතදීම  ලබා දීමට අවශ්‍ය කටයුතු හෝ බලධාරීන් විසින් සම්පාදනය කර නොමැති බවට වෘත්තිය සමිති නායකයා එහිදී වැඩි දුරටත් චෝදනා කළේය.

මෙවැනි ආකාරයෙන් ක්‍රියා කරන සෞඛ්‍ය අමාත්‍යාශයේ බලධාරීන් සමග කොරෝනා වෛරසය මර්දනය කළ හැකිද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නගින බව පවසන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය වැඩි දුරටත් ප්‍රශ්න කළේ රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාශය විසින් අත හැර තිබේද යන්නයි.

Social Sharing
නවතම