“ජනාධිපතිවරයා ගිවිසුම් ගැහුවේ නිදහස් මාධ්‍යක් නොමැති රටක් සමඟ” – මාධ්‍ය සංවිධාන

china in sri lanka Anura Kumara Dissanayaka

රජයේ ප්‍රධාන මාධ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කර මහජන සේවා මාධ්‍ය‍යක් බවට පත් කිරීමට මාධ්‍ය සංවිධාන කටයතු කරන මොහොතක මෙරට ජනාධිපතිවරයා චීනය සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට සූදානම් වන පුවතක් වාර්තා වේ.

මෙම ගිවිසුම් අතරින් ගිවිසුම් 5ක් 6ක් පමණ එරට මාධ්‍ය ආයතන සමඟ වීම විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණක් බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් මහතා පවසා සිටියි.

ඔවුන් පවසන ආකාරයට චීනයේ පවතින්නේ සම්පූර්ණයෙන් රාජ්‍ය මාධ්‍ය‍යක් වීමත් චීන මාධ්‍ය වාර්තා කරන්නේ රජය පවසන කරුණු බැවින් ලෝකයම පිළිගැනීමට ලක් කරන්නේ චීනය නිදහස් මාධ්‍යක් නොමැති රටක් ලෙස බවයි. එබැවින් මෙවැනි තත්ත්වයක ලංකාවේ රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණය ඉල්ලන මොහොතක චීන ආණ්ඩුවේ මාධ්‍ය ආයතන සමග ගිවිසුම් ගත වීම ඉතා භායානක බව ඔවුන් පෙන්වා දෙයි. එමෙන්ම ඔවුන් පෙන්වා දෙන ආකාරයට මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් තැබීමට පෙර ලංකාවේ මාධ්‍ය සංවිධාන හා මාධ්‍ය සමාජ සමග කතිකාවතක් සිදුකළ යුතු බව ඔවුන් පෙන්වා දෙති.

නිදහස් මාධ්‍ය ව්‍යාපරයේ ලේකම් ලසන්ත ද සිල්වා මහතා පවසන්නේ මෙරටේ රාජ්‍ය මාධ්‍ය පසුගිය කාලයේ පැවතුණේ ආණ්ඩුවේ හොරණෑ ලෙසත් මෙම ආයතන මහජන සේවා ඉලක්ක කරගත් ස්වාධීන සමාජ වගකීමක් ඉටුකරන ආයතන බවට පත්කළ යුතු බවයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජනාධිපතිතුමා චීනයේ මාධ්‍ය ආයතන සමග සිදුකරන මෙම අත්සන් තැබීම් සම්බන්ධයෙන් ද එම ගිවිසුම් සම්බන්ධයෙන් මෙන්ම ඒවායෙහි අන්තර්ගතය සම්බන්ධව ද හෙළිදරව් කළ යුතු බවයි.

මේ අයුරින් මාධ්‍ය සංවිධාන කතිකාවතක් ඇති කරගැනීමට හේතුව වී ඇත්තේ ඉකුත් 07 වනදා කැබිනට් තීරණ දැනුම් දීමේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව චීනයේ මාධ්‍ය ආයතන සමග ඇති කරගැනීමට නියමිත ගිවිසුම් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය සමගයි.

Social Sharing
අවකාශය නවතම