ඇඟලුම් සේවක සේවිකාවගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් රීට් පෙත්සමක්!

මිනුවන්ගොඩින් ඇරඹි කොවිඩ් පොකුර දැන් කටුනායක පොලිස් බල ප්‍රදේශයද ආක්‍රමණය කර අවසන්ය. ඇඟලුම් කර්මාන්තශාලා රැසක් ඇත්තේ, ඇඟලුම් සේවක සේවිකාවන් රැසක් සිටින්නේ මේ කටුනායක – ඇවරිවත්ත ප්‍රදේශයේය. ඇඟලුම් සේවක සේවිකාවන් කිහිප දෙනෙක් දැනටමත් කොවිඩ් 19 වෛරසයට ගොදුරු වී සිටිති.

කටුනායක ඇඟලුම් කලාපයේ කොවිඩ් 19 ව්‍යාප්තිය ආරම්භයේදි එම ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය ක්‍රියා කළේ නැත. එම ප්‍රදේශයට ඇඳීරි නිතිය පැනවීම සුදුසු බවට බොහෝ දෙනා කියා සිටියද ඇතමුන් එය සුලුවෙන් තැකුවේය.

ඇතැම් ප්‍රදේශ වලින් කොවිඩ් ආසාදිතයින් 4-5 ක් වාර්තා වන විටම ඒ ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවුවද කටුනායක ප්‍රදේශයට එසේ සිදු නොවුනේ කර්මාන්තශාලා කටයුතු අඩපණ වේ යැයි ඇතැම් විට රජයට පැවති බිය නිසා විය හැකිය.

ඇඟලුම් සේවක සේවිකාවන් අතරින් කොවිඩ් 19 වෛරසය ආසාදිත වූ අය හමු වෙද්දි සෞඛ්‍ය අංශ මෙන්ම සෙසු පුද්ගලයින් කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන්ට සලකා ඇත්තේ පංති භේදය ඉස්මතු වන අයුරින් බව නිදහස් වෙළඳ කලාපයේ සමාජ ක්‍රියාකාරීනියන් පවසති.

නිදසුනක් ලෙස පහුගිය ඔක්තෝම්බර් 14 වෙනිදා සියලුම ඇඟලුම් සේවක සේවිකාවන්ට PCR පරීක්ෂණ සඳහා අමන්දොලුව විද්‍යාලයට පැමිණෙන ලෙස ඇවරිවත්ත පොලිසිය දන්වා ඇත. එහි ගිය සියලු දෙනාම දැඩි ලෙස රස්තියාදු විමෙන් පසුව දන්වා ඇත්තේ එක්තරා ආයතන දෙකක නම් සඳහන් කරමින් ඔවුන්ට සිටින ලෙසත් අනෙක් අයට පිටව යන ලෙසත්ය.

මේ සම්බන්ධයෙන් Stand Up Movement Lanka හී අශිලා දන්දෙණිය මහත්මිය කියා සිටින්නේ මෙවන් ඒකරාශී කිරීමේ කටයුතු වලදීද කොවිඩ් 19 ව්‍යාප්තිය ඇති වීම වැලැක්විය නොහැකි බවය.

එමෙන්ම ඇය පෙන්වා දෙන්නේ නිරෝධායනය සඳහා රැගෙන යන සේවක සේවිකාවන් ඉතාමත් හිංසනයට ලක්වන බවය.

කලක් වේලාවක් නොමැතිව බෝඩිං කාමර වලට ගොස් විනාඩි 5 න් ලෑස්ති වෙන්න, සති දෙකකට ඇඳුම් ගන්න කියා බෝඩිං ළමයි එළියට ගෙනවිත් බස් රථ වලින් ගෙන යන බවත් එහිදීවත් ඔවුන් ගෙන යන්නේ කොහේ නිරෝධයාන මධයස්ථානයකටදැයි දැනුවත් කරන්නේ නැති බවත් ඇය කියා සිටියි.

කොවිඩ් වැළඳීම සේවකයින්ගේ වරදක් ලෙස මතු කරමින් නිරෝධායනය ඊට දඬුවමක් ලෙස පෙන්වා දෙමින් බැන වදිමින්, රස්තියාදු කරමින් ඔවුන්ව නිරෝධායනයට ගෙන යන විට සම්පුර්ණයෙන්ම හිංසනයට පත්ව සිටින බවද අවධාරණය කර සිටියි.

විශේෂයෙන්ම ආයතන වල ඉහළ නිලධාරීන්ට නිරෝධායනයේදී වීශේෂ පහසුකම්ද, මෙම සේවක සේවිකාවන්ට අඩු පහසුකම් සහිත නිරෝධායන මධ්‍යස්ථානද ලබා දීමට හමුදාව කටයුතු කරන බවත් මෙයින් පංති පරතරය ඉස්මතු වන්නේ යැයිද ඇය කියා සිටියි.

ඊයේ (15) දින සිට කටුනායක පොලිස් බලප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවුවේය. එහෙත් නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන්ට සිය හැඳුනුම්පත පෙන්වා සේවයට යා හැකි බව පොලිසිය ප්‍රකාශ කර සිටියහ. මේ අතර නිදහස් වෙළඳ කලාපයේ ඇතැම් කර්මාන්තශාලා වලට තවමත් සේවකයින් රැගෙන එනු ලබන්නේ ගම්පහ නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ වලිනි.

මේ අතර ඇඟලුම් සේවක සේවිකාවගේ සේම පොදු මහජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් හා කොරෝනා වසංගත තත්වය පාලනය කිරීම සඳහා නිවැරදි නිරෝධායන නිර්ණායක සකස් කර ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරියට නියෝග කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක් ගොනු කර ඇති බවද නීතිඥ ප්‍රියලාල් සිරිසේන මහතා කියා සිටියි.

කොවිඩ් වසංගතය නිසා ඇඟලුම් සේවක සේවිකාවන් මෙන්ම විශේෂයන්ම මේ හා සමගාමීව දැඩි අර්බුධයකට මුහුණ දී සිටින ඇගලුම් කර්මාන්ත ආශ්‍රිතව සේවයේ යෙදෙන මිනිස් බල (Man Power) සේවකයින්ගේ තත්වය ද මේ වන විට ඉතාමත් ඛේදජනකය.

නීතිඥ විදුර මුණසිංහ කියාසිටින්නේ දැනට ආන්තික වී වෙනස් කොට සැලකීමට භාජනය වී සිටින පිරිසෙන් තවත් සුවිශේෂී ආන්තික කොටසක් බවට මෑන් පවර් සේවකයින් පත්ව ඇති බවය.

“ඒ අය දෛනික වැටුපට දෛනික වැඩ පදනම මත තුන්වන පාර්ශවයක් හරහා විවිධ ආයතන වලට යොදවන අය. ඒ අය එක දවසක එක ආයතනයක, තවත් දවසක තව ආයතනයක විදියට ආයතන ගණනනාවක තමයි වැඩ කරන්නේ, ඒ නිසා නිශ්චිත සේවා යෝජකයෙක් නැහැ, ඒ නිසා මේ අයට කවුරුත් වග කියන්නේ නෑ, ඔවුන් කොතැනක වත් සඳහන් වෙන්නේ නෑ, කොතැනක වත් ඔවුන්ගේ අයිතිවාසිකම් සඳහන් වෙන්නේ නෑ , මේ කොවිඩ් තත්වය යටතේ එතකොට මේ අයට වගකියන්නේ කවුද කියන ගැටලුව මුලිකව පැන නගිනවා “ හෙතෙම කියා සිටියි.

ශානිකා

Social Sharing
නවතම