කොරෝනා සටනේ නියැලී විරුවන්ට “දීමනා ලැබී නෑ”

කොරෝනා වසංගතය හමුවේ කාර්යක්ෂම සේවාවක් ලබා දීමට කැපවු බස්නාහිර පළාතේ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්යමණ්ඩලයට ලැබිය යුතු දීමනා ගෙවීම පැහැර ඇති බවට චෝදනා  කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසදුම් ප්‍රමාද කරන්නේනම් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවට රජයට අනතුරු අගවා තිබේ.

බස්නාහිර  පළාතේ බොහෝ සෞඛ්‍ය ආයතන වල මාර්තු මාසයේ සිට ලැබිය යුතු දීමනා කිසිවක් වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය කාර්යමණ්ඩලය වෙත ලැබී නොමැති බවයි  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

“මේ අතර වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනා, නිවාඩු දින දීමනා, පර්යේෂණ දීමනා මෙන්ම අනෙකුත් කාර්ය මණ්ඩල වල අතිකාල දීමනා හා නිවාඩු දින දීමනා ඇතුලත් වෙයි.”

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ අත්සනින් යුතුව ජුනි 8 සදුදා නිකුත් කර තිබෙන නිවේදනයක සදහන් වන්නේ  තමන්ගේ මාසික වැටුප සමග ලැබිය යුතු මෙම දීමනා මාර්තු මාසයේ සිට මේ දක්වා නොලැබීම හේතුවෙන් සමස්ථ සෞඛ්‍ය කාර්යමණ්ඩලය දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින බව බස්නාහිර පළාතේ තම සංගමයේ ශාඛාවන් සියල්ල සංගමය වෙත දැනුම් දී ඇති බවයි.

“පවතින තත්වය පිළිබදව බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමා ඇතුලු පළාත් නිලධාරීන් දැනුවත් කරන ලදී. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුලු රේඛිය අමාත්‍යාංශ නිලධාරීන් දැනුවත් කරන ලදී.පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෙත කරුණු දක්වන ලදි. කෙසේ නමුත් මේ දක්වා ගැටලුවට විසදුම් ඉදිරිපත් කිරීමට බලධාරීන්ට නොහැකිව ඇත.”

පසුගිය මැයි 28 වනදා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා සිය සංගමය විසින් ආණ්ඩුකාරවරයා හමුවු නමුත් එහිදී ද පවතින ගැටලුවට නිශ්චිත විසදුමක් ඉදිරිපත් නොවු බව අවධාරණය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමය සදහන් කරන්නේ,  පළාත් සභාව මුහුණ පා සිටින ආර්ථික දුෂ්කරතා පිළිබදව කරුණු ඉදිරිපත්කිරීමකට එහිදී සවන් දීමට සිදුවු බවයි.

ජුනි 1 වනදා වන විට  ගෙවීම් සම්බන්ධ නියමිත දින වකවානු ඉදිරිපත් කිරීමට හැකිවෙනු ඇති බව එදින ආණ්ඩුකාරවරයා පැවසුවද එයද කඩවුණු පොරොන්දුවක් බවට පත්ව ඇති බව වෛද්‍ය හරිත අලුත්ගේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

ඇතිවී තිබෙන ගැටලුව විසදීමටනම් මහා භාණ්ඩාගාරය මගින් මීට අදාල මුදල් පළාත් සභාවට යොමු කළ යුතු බව අවධාරණය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ නොඑසේනම් රේඛිය සෞඛ්‍ය අමාත්‍යංශය වෙතින් පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අය විය යුතු රුපියල් මිලියන 800කට ආසන්න හිග මුදලෙන් කොටසක් ලබා දිය යුතු බවයි.

පවතින අසතුටුදායක තත්වය සාකච්ඡා කිරීම සදහා ජුනි 3 බදාදා බස්නාහිර පළාත් සභාවට අයත් සෞඛ්‍ය ආයතන වල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛා සංගම් වල රැස්වීමක් පැවැත්වු අතර බලධාරීන් විසින් ගැටලුවට නිසි විසදුම් ලබා දීම දිගින් දිගටම ප්‍රමාද කරනුයේ නම් අවසන් පියවර ලෙස විධායක සභාවේද අනුකුලතාවය ලබා ගනිමින් සමස්ථ බස්නාහිර පළාත තුළ වෛද්‍ය ආයතන තුළ වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කිරීම පිළිබද සලකා බැලීමට නියමිත බවට වෛද්‍ය හරිත අලුත්ගේ රජයට අනතුරු අගවා තිබේ.

එම වෛද්‍ය සංගමය පවසන පරිදි බස්නාහිර පළාත් සභාවට අයත් සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත වන සමස්ථ වෛද්‍යවරුන් ප්‍රමාණය පමණක් 2500 ට අධිකය.

අනෙකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩල සංඛ්‍යාවද දසදහස් ගණනක් බව එම සංගමය අවධාරණය කරයි.

මාධ්‍ය නිවේදනය මගින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ සමස්ත බස්නාහිර පළාත තුළ සේවය කරන ” සුව විරුවන්ට   ” මේ වන විට සිදුව ඇති අසාධාරණය නිවැරදි කිරීම බලධාරීන් සතු වගකීම මෙන්ම යුතුකමක්ද වන බවයි.

Social Sharing
නවතම