දේශබන්දු පත්කිරීමට එරෙහි පෙත්සමේ රනිල් වගඋත්තරකරුවකු කිරීමට අවසර

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත්කිරීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29දා) පෙත්සම්කාර පාර්ශ්වයට අවසර දුන්නේය.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන, එම සංගමයේ ලේකම් මොහොමඩ් ෆසීර් යන මහත්වරුන් විසින් ගොනු කර තිබූ පෙත්සමක් මෝසමක් මගින් කැඳවමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රීති පද්මන් සූරසේන හා ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල එම අවසරය ලබාදුන්නේය.

එකී පෙත්සමේ ශිර්ෂය සංශෝධන කිරීමට ද පෙත්සම්කරුවන්ට අවසර ලබාදුන් විනිසුරු මඬුල්ල ලබන 11 වැනිදා එම පෙත්සම නැවත කැඳවීමට ද දින නියම කළේය. දේශබන්දු තෙන්නකෝන් මහතා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ අයකු බවට නිගමනය කරනා තීන්දු නිකුත් කර තිබියදීත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශය මත ඔහු පොලිස්පති ධුරයට පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය දීම නීති විරොධී බව සිය පෙත්සම මගින් පෙන්වා දී තිබූ පෙත්සම්කරුවන් එකී අනුමැතිය බලරහිත කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු කථානායකවරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාව, දේශබන්දු තෙන්නකෝන් මහතා හා නීතිපතිවරයා නම් කර තිබිණි.

දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති ධුරයට හා පසුව පොලිස්පති ධුරයට පත්කිරීම අභියෝගයට ලක්කරමින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රමුඛ පාර්ශ්ව අටක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට 2024.07.24 වැනිදා අවසර ලබාදුන් ප්‍රීති පද්මන් සුරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එම පෙත්සම් විභාගය අවසන් වනතුරු දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි.

නීතිඥ මනුජය ද සිල්වා මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය. මේ වනවිට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය නොදරනා බැවින් ජනාධිපතිවරයාට හිමි මුක්තිය ඉවත් වී ඇති බවද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙන්වා දුන්නේය.

දිවයින

Social Sharing
නවතම පුවත්