බැසිල්ගේ 20 සහ පොහොට්ටුවේ චීන සර්කස්

ශ්‍රී ලංකා ජනරජය එහි තීරණාත්මක කාල අවකාශයක් පසුකරමින් සිටියි. ශ්‍රී ලංකාව තව දුරටත් ජනරජයක් සේ පවත්වාගෙන යන්නේ ද එය රාජාණ්ඩුවක් බවට පෙරලා ගන්නේ ද යන බරපතළ ප්‍රශ්නය එහි ජනයා අභිමුව පවතී. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වන්නේ ද නැති ද යන කරුණ මත මෙම ප්‍රශ්නය නිරාකරණය වනු ඇත. ආණ්ඩු පක්ෂය තුළින් සහ සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තුළින් එන ආරංචිවලට අනුවනම් 20 වැනි සංශෝධනය, ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ එතරම් බාධාවක් නොමැතිව සම්මත කරගන්නවා ඇත. එහෙත් 20 වැනි සංශෝධනය නිසා සහ කොවිඩ් දෙවෙනි රැල්ල නිසා මෙන්ම උඩුදුවමින් තිබෙන ආර්ථික අර්බූදය හමුවේ විශාල අර්බූදයන් ගනනාවකට සහ විශාල ඉරිතැලීම් සහ දෙදරායෑම් ගණනාවකට ආණ්ඩුව මුහුන දෙනු ඇත.

බැසිල් විමල් ගැටුම

” 20 වැනි සංශෝධනය කියන්නේ බැසිල් පාර්ලිමේන්තු ඇවිත් අගමැති වෙලා ඊළඟට ජනාධිපති වෙන්න අටවපු උඟුලක්. වෙන එකක් නෙවෙයි. ජනාධිපතිවරයාටත් බාධාවක් නැතුව තමන්ට ඕනෑ දේවල් කරගෙන යන්න තියෙන උවමනාවත් මෙතන තියෙනවා. හැබැයි වැඩිපුර මෙතන තියෙන්නේ බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට ඇවිත් අගමැති වෙන්න තියෙන උවමනාව” බැසිල් විමල් හබය ගැන කතා කළ මොහොතක විමල් වීරවංශ පාර්ශවයේ ප්‍රබලයෙක් අදහස් දැක්වූවේ එසේ ය. ඔවුන් කියන්නේ මේ වනවිට තම නායකයා සිය දේශපාලන ගමන් මඟේ ඉහළටම පැමිණ ඇති බවයි. මහින්ද නැති කලෙක අගමැති වන්නට මෙම පාර්ලිමේන්තුවේ දැනට සිටින එකම සුදුස්සා විමල් වීරවංශ පමණක් බව ඔවුන්ගේ මතයයි. ඔවුන්ගේ ගණන් හැදීමට අනුව බැරිවෙලාවත් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණිය හොත් විමල් වීරවංශගේ එම සිහිනය බොඳව යනු ඇත. ඒ අනුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට වඩා විමල් වීරවංශ පාර්ශවය සිය විරෝධය පළ කරන්නේ එමගින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව පැමිණීමට තිබෙන බාධාව ඉවත් කරනවාටය.

මෙම වීරවංශ බැසිල් ගැටුම පොහොට්ටු දේශපාලනයේ අභ්‍යන්ත්‍ර කවයන් තුළ සහ සමාජ ජාලා මාධ්‍යයේ පසුගිය කාලයේ පැවතියත් එය හොඳහැටි පෙනෙන මොනර නැටුමක් වූවේ පසුගිය 8 වෙනිදා බැසිල් රාජපක්ෂ නෙළුම් මාවතේ සිය පක්ෂ කාර්‍යාලයේ දී මේ පිළිබඳව කෙලින්ම කරුණු දැක්වීමත් සමගය. එහිදී ඔහු විමල් වීරවංශ පාර්ශවය ඔහුට විරුද්ධව සමාජ මාධ්‍යයේ ගෙනියන ප්‍රචාරයන් පිළිබඳව සිය විරෝධය ප්‍රකාශ කර ඇත. ඊට පසු දා එනම් ඔක්තෝම්බර් 9 වෙනිදා හවස අරලියගහ මන්දිරයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පවත්වන්නට ප්‍රථම උදේ වරුවේ බැසිල් හිතවාදී මන්ත්‍රී කණ්ඩායමක් ඔහු හමුවී හවස පවත්වන්නට යන සාකච්ඡාව සහ එහිදී යම් යම් විරෝධයන් මතුව පැමිණිය හොත් කෙළෙස කටයුතු කළ යුතු දැයි සාකච්ඡාවක් පවත්වා ඇති බව දැනගන්නට ඇත. මේ සියලු දේවල් මේ ගැටුම නිසා ය.

ආණ්ඩු පක්ෂ රැස්වීම

පසුගිය ඔක්තෝම්බර් 09 වෙනිදා සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කැඳවීමෙන් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අරලිය ගහ මන්දිරයට රැස් වෙන්නේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කිරීම සඳහා ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේදාස රාජපක්ෂ, ගෙවිඳු කුමාරතුංග, අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, වැනි බෝහෝ දෙනෙක් මෙම හමුවට සහභාගීවී ඇත්තේ 20 ගැන හොඳට කියා දෙනවා යැයි කියමින් ය. එහෙත් වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාට ඇරෙන්න මේ කිසිම කෙනෙකුට දීර්ඝව කතා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉඩ ලබාදී නැත. වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා විගණනය පිළිබඳව මෙහිදී විශාල වශයෙන් ප්‍රශ්න කර ඇත. එහෙත් ගෙවිඳු කුමාරතුංග, විමල් වීරවංශ වැනි මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයාගේ විරෝධය හමුවේ වාඩිවී සිටින්නට සිදුවී ඇත. මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රීලනීප ප්‍රබලයෙක් ප්‍රකාශ කළේ අමාත්‍ය විමල් වීරවංශ පමණක් නොව බොහෝ දෙනෙකු ජනාධිපතිවරයා විසින් වාඩිකරවූ බවය. මෙහිදී ” අපිට කතා කරන්න දෙන්නේ නැත්තං ඇයි අපිට එන්න කීවේ ” යැයි විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රශ්න කර ඇති බව දැනගන්නට ලැබේ. කෙසේ වුණත් මෙහිදී ඇතිවී තිබෙන තත්ත්වය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හෝ පාලනය කරන්නට නොහැකිවී ඇති අතර, එහෙත් බැසිල් රාජපක්ෂ මහතාගේ සැළසුමට අනුව ඔහුගේ පාර්ශවයේ කිහිප දෙනෙක් විසිවෙනි සංශෝධනයේ ගුණ ගායනය කර ඇත. මෙහිදී ජනාධිපතිවරයා දිගින් දිගටම පවසා ඇත්තේ ජනතාව තමන්ට බාධාවකින් තොරව රට සංවර්ධනය කිරීම සඳහා ජනවරමක් ලබා දී ඇති බවය. එනිසා බාධා නොකර ඒ සඳහා තමන්ට සහාය දෙන්න යැයි ඔහු සිය මන්ත්‍රී කණ්ඩායමෙන් ඉල්ලීමක් කර ඇත.

සමගි ජනබලවේගයේ 12ක් බැසිල් පසුපස

20 වැනි සංශෝධනය හරහා බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණීම වැළැක්වීමට විමල් වීරවංශ මහතා ප්‍රමුඛ කණ්ඩායම මෙලෙස සක්‍රීයව කටයුතු කරමින් සිටින විට සහ වාසුදේව නානායක්කාර මහතා සහ විදුර වික්‍රමනායක වැනි අය ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීම කරනකොටගෙන මෙම සංශෝධනයට සුළු හෝ විරෝධයක් පාන විට, එම තත්ත්වය නිසා ආණ්ඩුවට 2/3 ක බලයකින් 20 වැනි සංශෝධනය පාස් කරගන්නට යම් මන්ත්‍රීන් ප්‍රමානයක් අඩුපාඩු වුවහොත්, එම අඩුව සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ කොටසක් බිලී බාගැනීම මාර්ගයෙන් සාක්ෂාත් කරගැනීමට බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පාර්ශවය සූදානම් බව දැනගන්නට ඇත. එහි එක් ප්‍රබලයෙක් මෙම ලියුම්කරු සමග පැවසුවේ 12 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් ඕනෑම වෙලාවක ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කරන්නට සූදානමින් සිටින බවය. මේ සියලු තත්ත්වයන් ගොඩනැගෙන ආකාරය අනුව පෙනෙන්නේ 20 වැනි සංශෝධනය සැහැල්ලු සංශෝධනයන් සහිතව සම්මත වෙනු ඇති බවය. ඒ අනුව අලුත් ව්‍යවස්ථාවක් ගෙන එනවා යන නංගී පෙන්වා 20 වැනි සංශෝධනය නැමති අක්කා සම්මත වෙනවා ඇත.

මේ අනුව ඉදිරියේදී, තව තවත් ආර්ථිකය කඩාගෙන වැටීම, එනිසා ණය වාරික ගෙවාගන්නට නොහැකි වීම, එනිසාම වැඩි පොලියට චීනයෙන් තවතවත් ණය ගැනීමට සිදුවීම, එනිසාම ඉන්දු ලංකා බල දේශපාලන ආතතියක් නිර්මානය වීම, ආදී නෙක ගිනිදැල් මතින් කකුළු හැලිය රත් වන්නට නියමිතය. එම රස්සනයට 20 වැනි සංශෝධනයේ උෂ්ණ‍යත් වැටුණ විට 69 ලක්ෂයේ කකුළුවන්ට පමණක් නොව විපක්ෂ කකුළුවන්ටද දුෂ්කර කාලයක් උදාවෙනවා නියතය.

අපි සිවිල් සමාජය විදිහට දේශපාලන බලය අභ්‍යාස කළ යුතුයි! - සමන් රත්නප්‍රිය (හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී)

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග