යුරෝපා තානපති නිලධාරීන්ට වැට බැඳුණු ශ්‍රී ලංකාවේ මැතිවරණ නීරීක්ෂණය

 

Election monitoring in Sri Lanka, where the European embassy officials were fenced

මෙරට යුරෝපා සංගමයේ තානාපති කාර්යාලවල සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ලබන 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමට එකතුවීමට අවසර ලබා දෙන ලෙස කරනු ලැබූ ඉල්ලීමක් මැතිවරණ කොමිසමට ඉදිරිපත් වුවද එම ඉල්ලීම මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය තාන්ත්‍රිකයන් මැතිවරණ කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමට එකතුවීමට අවසරය ලබාදීම මැතිවරණ කොමිසමේ හෝ රටේ ප්‍රතිපත්තිය නොවන බවත් ජ්‍යෙෂ්ඨ මැතිවරණ නිලධාරියෙකු ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට හේතු පැහැදිලි කරමින් පැවැසු අතර, යුරෝපා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රකාශකයකු පවසා සිටියේ යුරෝපා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකයන්ට මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගීවීමට අවස්ථාව ලබා දෙන ලෙස කර ඇති ඉල්ලීම් සියල්ලට මැතිවරණ කොමිසම අවසරය ලබාදී ඇති බවත් මෙරට තානාපති කාර්යාලවල සිටින කාර්ය මණ්ඩලයට මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වීමට අවසරය ලබාදෙන ලෙස ඉල්ලමින් ඉල්ලීමක් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර නොමැති බවත්ය.

මෙරට සිටින යුරෝපා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමට එකතුවීම සඳහා තවත් කෙටි කාලීන නිරීක්ෂණයන් කණ්ඩායමක් අද(16) මෙරටට පැමිණීමට නියමිත අතර සාමාජිකයන් 70 දෙනකු පමණ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා යෙදවීමට යුරෝපා සංගමය බලාපොරොත්තු වේ.

යුරෝපා සංගමයට ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලීන් සමඟ දිගු ඉතිහාසයක් ඇති අතර යුරෝපා සංගමයේ කැපවීම සහ ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වය පිළිබිඹු කරමින් 2019 දී අවසන් වරට අවස්ථා හයක් තුළ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම් යොදවා ඇත. ඒ අනුව යුරෝපා කොමිසමේ විදේශ කටයුතු හා ආරක්ෂක ප්‍රතිපත්ති සහ උප සභාපති ජෝෂප් බොරෙල් මහතා විසින් යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී නැකො සැන්චෙස් ආමර් මහතාගේ ප්‍රධානත්වයෙන් නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ නිරීක්ෂණය සඳහා පත්කර තිබේ.

මේ වසරේ ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම සඳහා නියෝජිතයන් යෙදවීම, රටතුළ විශ්වසනීය, විනිවිද පෙනෙන, සියල්ලන් ඇතුළත් සහ සාමකාමී මැතිවරණයකට සහාය දැක්වීම සඳහා අපගේ දිගුකාලීන කැපවීම තහවුරු කරන්නක් බව යුරෝපා කොමිසමේ උප සභාපති ජෝෂප් බොරෙල් මහතා පවසයි. යුරෝපා සංගමය මැතිවරණය නිරීක්ෂණය කිරීම ශ්‍රී ලාංකීය ජනතාවට සහ රට සමඟ අපගේ බහුමාන සහ තිරසර හවුල්කාරිත්වයට අනුකූලව ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීමට දරන ප්‍රයත්නයන්ට සහාය වීමේ මාර්ගයක් බවද හෙතෙම පෙන්වා දී තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ නිරීක්ෂණ කටයුතු සඳහා නායකත්වය ලබාදීමට අවස්ථාව ලැබීම ගෞරවයක් බවද ඉදිරි ජනාධිපතිවරණය 2022 වසරේ ශ්‍රී ලංකාවේ ඇතිවූ දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදයට නව ජවයක් ලබාදෙන බවද යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී නැකො සැන්චෙස් ආමර් මහතා පවසයි. ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට ගරුකරමින් ප්‍රතිසංස්කරණ සහ කල්පවත්නා ප්‍රකෘතිමත් වීමේ මාවතේ අඛණ්ඩව ප්‍රගතියක් ලබා ගැනීමට මෙම මැතිවරණය ශ්‍රී ලංකාවට වැදගත් බවද හෙතෙම පෙන්වා දී ඇත.

Social Sharing
අවකාශය නවතම පුවත්