දකුණු ආසියාවේ අඩුම ගුරු වැටුප් ලංකාවේ!

ලෝක ගුරු දිනය ඔක්තෝබර් මස  පස්  වන දින  ලොව පුරා සමරද්දී ලංකාව එය  ඔක්තෝබර්  හය  දින සැමරීම  විකෘතියක් බවට චෝදනා කරන දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් ගුරු ගැටළු සදහා විසදුම් ලබා දෙන ලෙස ලෝක  ගුරු දිනයේ දී රජයට බල කර සිටී.

ලෝක ගුරු දින සැමරුම යෙදෙන මොහොත වන විට  ලංකාවේ සමස්ත පාසල් පද්ධතිය කොරෝනා වසංගතය හේතුවෙන්  වසා දැමීමට රජය තීරණය කර ඇතත්  ගුරු දිනය ලෝක පරිමාණව සැමරීම පදනම් කරගෙන  ගුරු වැටුප් හා වෘත්තීය ගැටලූවලට විසඳුම්  ලබා දිය යුතු බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.

1994 වසරේ දී  ගුරු සහ විදුහල්පති සේවාවන් සකසන ලද අතර ගුරු සේවා ව්‍යවස්ථාව නිකුත් වූයේ එම වසරේම ඔක්තෝබර් 6 දින බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමය අවධාරණය කරන්නේ  එම දිනය පදනම් කරගෙන ඔක්තෝබර්  හය දින  ලංකාවේ ගුරු දිනය සැමරීම සිදු වන බවයි.

“එම දිනය පදනම් කරගෙන ඔක්තෝම්බර් 06 ලංකාවේ ගුරු දිනය සැමරීම සිදු වේ. මෙය ලෝක ගුරු දිනයට සමගාමීව ඔක්තෝම්බර් 5 දින සමරන ලෙස ලංකා ගුරු සංගමය අඛණ්ඩව ඉල්ලා ඇත. වත්මන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගෙන් සහ අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගෙන් ද ලංකාවේ ගුරු දින සැමරුම ලෝක ගුරු දිනය සමරන ඔක්තෝම්බර් 5 දින සැමරීමට කටයුතු යොදන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී.”

මෙවර ලෝක ගුරු දිනය උදාවන්නේ ලංකාවේ දෙලක්ෂ හතලිස් හත් දහසක් පමණ වන ගුරුවරු සහ පහළොස් දහසක් පමණ වන විදුහල්පතිවරු තම වැටුප් ඇතුළු වෘත්තීය ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් දැවැන්ත අරගලයක් සිදුකරමින් සිටියදී  කෝවිඩ්  19 තත්වය තුළ එය තාවකාලිකව නරත කර ඇති පසුබිමක බව ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් පෙන්වා දෙයි.

තම ඉල්ලීම් ලබාදෙන බවට රජය  ලබාදුන් රැවටිලිකාරී පොරොන්දු මධ්‍යයේ, සේවා තත්වය පිළිබඳ අතෘප්තිකර වාතාවරණයක් තිබියදී වුවද ලංකාවේ ගුරුවරු කොරෝනා වසංගත  ව්‍යාප්තිය හමුවේ  අධ්‍යාපන පද්ධතිය තුළ දරුවන්ට සිදු වූ පාඩුව අවම කිරීමට වෙර දරමින් සිටින බව ලංකා ගුරු සංගමය ඔක්තෝබර් 4 ඉරිදා නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

“ගුරුවරු: අර්බුදකාරීත්වයේ දී නායකත්වය දෙමින් අනාගතය යළි පරිකල්පනය කරයි” මෙවර ගුරු දිනයේ තේමාවයි.

යුනෙස්කෝව විසින් ගුරුවරයාගේ වටිනාකම මෙලෙස ඇගයීමට ලක් කළ ද දකුණු ආසියාවේ අඩුම වැටුප්  ලබන ගුරු-විදුහල්පතිවරු සිටින්නේ ලංකාවේ බව ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මගින් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

“හිටපු අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප‍්‍රකාශ කළ පරිදි ලංකාවේ ගුරුවරයාගේ වැටුප කොත්තු බාස්ගේ වැටුපටත් වඩා අඩුය. එවැනි අඩු වැටුපක් ගුරුවරු ලබන බව පිළිගත් වත්මන් රජය තවමත් 1997 සිට ගුරු-විදුහල්පතිවරුන්ට පවතින වැටුප් විෂමතාවය අවම කිරීමට කිසිදු ප‍්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ගෙන නැත. 1994 ගුරු සහ

විදුහල්පති සේවාවන් සකසා ගුරු-විදුහල්පතිවරු ඉහළ වැටුප් තලයක තැබූවද 1997 බී.සී. පෙරේරා වැටුප් කොමිසම මගින් ගුරුවරයාගේ වැටුප පහළ දමන ලද අතර, එතැන් සිට ගුරුවරු දැඩි වැටුප් විෂමතාවයකට ලක් කරන ලද හෙයින් අඩු වැටුප් ලැබීමට ගුරුවරුන්ට සිදුව ඇත.”

1996 ඔක්තෝම්බර් 5 දින පැරිස් නුවර ගුරුවරුන්ගේ වෘත්තීය තත්වය පිළිබඳව විශේෂ අන්තර් රාජ්‍ය සමුළුවක් පවත්වා නිර්දේශ 146 ක් සම්මත කරගත් අතර  එම දිනය පදනම් කරගෙන ලෝක ගුරු දිනය  සෑම වසරකම ඔක්තෝබර්  5  දින  ලොව පුරා සැමරීම සිදු වේ.

Social Sharing
නවතම