ජනපති කෝපවූ මාධ්‍ය හෙලිදරව් වලට පොලීසියෙන් ප්‍රසාදය

“අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රබන්ධ” ලෙසට  ජනාධිපතිවරයාගේ ගර්හාවට ලක්වෙමින්  ජනමාධ්‍ය විසින් පරිසර විනාශය පිළිබඳව කරන හෙලිදරව් ශ්‍රී ලංකා පොලීසියේ ගෞරවයට පාත්‍ර වී තිබේ.

පරිසර විනාශය ට අදාල විමර්ශන කටයුතු කඩිනම් කිරීම සදහා පොලිසියට උපකාරී වී ඇත්තේ මාධ්‍ය විසින් හෙළි කරන ලද තොරතුරුයි.

“අපි දන්නවා පසුගිය කාලේ වාර්තා උනා මාධ්‍ය ගණනාවකින්ම වන විනාශ කිරීම් සම්බන්ධයෙන් සහ රක්ෂිත වලට අදාල වැරදි සම්බන්ධයෙන්,” යයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න ප්‍රකාශ කළේ ඔක්තෝබර් 2 සිකුරාදා පොලිස් මුලස්ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

“විශේෂයෙන්ම එවැනි තොරතුරු වාර්තා කරපු මාධ්‍ය වලට මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොලීසිය අපේ ගෞරවය පුද කරන්න කැමතියි. ඒ සමහර තොරතුරු වන හානිය සහ රක්ෂිත වලට කරන ලද අලාභානි සම්බන්ධයෙන් මාධ්‍ය විසින් වාර්තා කිරීමත් එක්ක ශ්‍රී ලංකා පොලීසිය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළා.”

වනයට හා රක්ෂිත වලට  හානි කිරීම් සම්බන්ධයෙන් පසුගිය කාලය තුලදී වාර්තා වී ඇති පැමිණිලි 20 ක පමණ විස්තරද පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් මාධ්‍ය හමුවේ තබන ලදී.

වාර්තා වී ඇති වන විනාශ සිදුවූ ස්ථාන ලංකා සිතියමක ලකුණු කර මාධ්‍යවේදීන්ට ලබා දීමට කටයුතු කරන බව පැවසු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න එහිදී වැඩි දුරටත් සදහන් කළේ ලැබී ඇති සෑම පැමිණිල්ලකටම අදාලව පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි.

“මේ පැමිණිලි වාර්තා වෙන්නේ  රක්ෂිත වල ගස් කපා ගිනී තැබීම් සම්බන්ධව, ඒ වගේම කඩොලාන රක්ෂිත වලට  හානි කිරීම්, ඒ වගේම රක්ෂිත ඩෝසර් කිරීම්, ඒ වගේම අනවසරයෙන් අල්ලා ගැනීම් සහ ගස් කපා දමා බෝග වගාව සදහා රක්ෂිත විනාශ කිරීම, ඒ වගේම වැලි ගොඩ දැමීම සහ නිධන් හැරීම සදහා රක්ෂිත කිරීම කියන කාරනා පිළිබදව තමයි මේ පැමිනිලි විස්ස වාර්තා වෙලා තියෙන්නේ.”

ලැබී ඇති පැමිනිලි සම්බන්ධයෙන් කරන ලද විමර්ශන වලදී සැකකරුවන් විසි පස් දෙනකු පමණ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර හෝ එයට අදාල නෛතික ක්‍රියාමාර්ග ගෙන විමර්ශන කටයුතු සිදු කරමින් යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩි දුරටත් අවධාරණය කළේය.

වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පෙර නොවූ අයුරින් පරිසරය විනාශ කිරීමට පටන්ගෙන ඇතැයි හෙළි කෙරෙන තොරතුරු  “අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක්” ලෙස  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හෙලා දැක තිබුණි.

“රක්ෂිත වනාන්තර ගිනි තබා විනාශ කරන බවටත්, ස්වභාවික කැලෑවල පිහිටි ගස් කපා හෙළන බවටත්, මේ අසත්‍ය වාර්තා මගින් හුවා දක්වනු ලැබේ. මින් පෙර කිසි කලෙක මෙබඳු පරිසර විනාශයක් සිදු නොවූ බවත් රජය එවැනි නීති විරෝධී ක්‍රියා හමුවේ නිහඬව සිටින බවත් ඒත්තු ගැන්වීමට මේ පුවත් නිර්මාණය කරන අය උත්සහ කරති. එවැනි වාර්තාවල මුලුමනින් අසත්‍ය සහ විකෘති කරන ලද තොරතුරු ඇතුළත් බව නිරීක්ෂණය කර ඇත, ” යි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

“ජනතාව නොමග යවනු පිණිස සිතා මතා අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කොට විවිධ මාධ්‍ය ඔස්සේ සමාජගත කරන පිරිස් හඳුනාගෙන ඔවුනට එරෙහිව නීතිමය පියවර ගැනීමට” රජය තීරණය කර තිබෙන බවට එමගින් වැඩිදුරටත් අනතුරු අඟවා තිබේ.

Social Sharing
නවතම