මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත්භාවය පිලිබඳ පනත යටතේ පැවරුනු පළමු නඩුව…

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය කිරීම වළක්වමින් ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ඇතුළු අට දෙනෙකුට එරෙහිව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ නඩු පවරා ඇත.

එලෙස පැවරූ නඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිතිඥ සංගමය සිය නිරීක්ෂණය යොමු කරන බව නීතිඥ සංගමයේ සභාපති කෞශල්‍ය නවරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ ය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඉදිරියේ කරුණු දක්වමින් වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ මෙම නඩුව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ පවරන ලද නඩුවක් සහ ජනතාවගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කෙරෙහි බලපාන නඩුවක් බැවින් නිරන්තරයෙන් නිරීක්ෂණයට යොමු කරන බවයි.

ජනක රත්නායක මහතා විසින් ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළේ යැයි කියන පොල්වත්ත ආරච්චිගේ ගයත්‍රි බිම්බා,ඇතුළු හය දෙනකු , වට්ස්අප් හා ගූගල් සමාගමට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි. එම පැමිණිල්ල සලකා බැලීමෙන් පසුව පසුගිය 04වැනි දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරය කිරීම වළක්වමින් කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරන ලදි. ගයත්‍රී බිම්බා විත්තිකාරිය සමග දැනට තායිවානයේ වාසය කරනවා යැයි කියන ජනක රාජපක්ෂ සහ ඕෂල හේරත්,ජයලාල් පෙරේරා,කල්ප හා කමන්ත තුෂාර යන විත්තිකරුවන්ට ද බලපැවැත්වෙන පරිදි එම වාරණ නියෝගය නිකුත් කරන ලදි.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි විත්තියේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ අධිකරණ බලය නොමැතිකම මත අයදුම්පත්‍රය පවත්වාගෙන යාමේ හැකියාව අභියෝගයට ලක් කරමින් විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.

ජනක රත්නායක සිය අයදුම්පත්‍රයේ සඳහන් කළේ වගඋත්තරකරුවන් පුද්ගලික තොරතුරු බෙදා හැරීමට හෝ බෙදා හැරීමට උත්සාහ කර ඇති බවයි. තමා “ඉලක්කගත පුද්ගලයකු” බවත්, පෙත්සමේ නම් කර ඇති වගඋත්තරකරුවන් කිහිප දෙනකුගෙන් එක් අයකු හෝ කිහිප දෙනකු ව්‍යාජ ප්‍රකාශ සන්නිවේදනය කරමින් පෙත්සම්කරුට හිතාමතාම හිරිහැර කරන බවත් පෙත්සම්කරු වැඩිදුරටත් චෝදනා කළේය.

2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වැනි වගන්තිය යටතේ එම තොරතුරු සංසරණය වීම වැළැක්වීම සඳහා පෙත්සම්කරු වෙනුවෙන් අයදුම්පතක් ඉදිරිපත් කරන ලදී.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස, නීතිඥ විශ්ව ද ලිවේරා තෙන්නකෝන්, නෙරංජන් ඊරියගොල්ල, රශ්මිණී ඉන්දතිස්ස, නවීන් ජයමාන්න යන මහත්වරු ඇතුළු නීතිඥ මිතුන් ඩයස් මහතා පෙනී සිටියේය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස, ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල සහ හෆීල් ෆාරිස් යන මහත්වරු පෙනී සිටියහ.

මාර්ගස්ථ ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය යටතේ මෙම පැමිණිල්ල ගොනුකර තිබු අතර අදාළ පනත යටතේ තහනම් ප්‍රකාශනවලට එරෙහිව අධිකරණයේ පවරන පළමු නඩුව වන්නේද මෙම නඩුව වේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය මෙම නඩුව වැඩිදුර විභාගය සඳහා මැයි මස 02වැනි දිනට කල් තබන ලදි.

Social Sharing
නවතම පුවත්