පෝල් සිංගර් එ. ආජන්ටිනාව

“ණයකාරයෝ අකැමති වුනත් ගෙවන්නේ නැහැ කිවුවොත් උන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ නේද?”

මේක කිහිප දෙනෙක්ම අසා තිබෙන ප්‍රශ්නයක්. මේ සටහන “උන්ට කරන්න පුළුවන් දේවල්” ගැන උදාහරණයක්.

ආජන්ටිනාව කියන්නේ ආර්ථික අර්බුද ගැන කතා කරද්දී කතා නොකරම බැරි රටක්. දැන්නම් දක්ෂිණාංශික දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින අය අතර ජනප්‍රිය රටක්. කොහොම වුනත් මේ සටහනෙහි දේශපාලන කරුණු කතා කරන්නේ නැහැ.

ආජන්ටිනාව 1998-2002 අතර කාලයේදී දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. ආර්ථිකය 28%කින් පමණ හැකිළුනා. එහි ප්‍රතිඵලයක් විදිහට 2001 වසර අවසානයේදී ආජන්ටිනාවට ණය ගෙවාගන්න බැරි තත්ත්වයක් ඇති වුනා. ඒ වෙද්දී ගෙවන්න තිබුණු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 132ක් පමණ. එයින් ඩොලර් බිලියන 82ක් පමණ අරගෙන තිබුණේ ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරලා.

ආජන්ටිනාව විසින් ස්වෛරිත්ව බැඳුම්කරහිමියන් සමඟ දිගින් දිගටම සාකච්ඡා කරමින් කිසියම් එකඟතාවයකට එන්න උත්සාහ කළත් මේ වැඩේ සාර්ථක වුනේ නැහැ. අන්තිමට 2005 වර්ෂයේදී සාකච්ඡා පැත්තක දමලා ආජන්ටිනාව විසින් ඒකපාර්ශ්වීය ලෙස ණය ප්‍රතිව්‍යුගත කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කළා.

ආජන්ටිනාව විසින් මෙම යෝජනාව ඒකපාර්ශ්වීය ලෙස ඉදිරිපත් කරන විට මුහුණත අගය ඩොලර් බිලියන 81.8ක් වූ ස්වෛරිත්ව බැඳුම්කර වල නොගෙවූ පොලිය විදිහට තවත් ඩොලර් බිලියන 20.8ක් එකතු වී තිබුණා. ඒ අනුව, ණයහිමියන්ට ලැබිය යුතු වූ මුදල ඩොලර් බිලියන 102.6ක්. (මීට අමතරව IMF එකට හා වෙනත් රටවලට ගෙවිය යුතු ණයත් තිබුණා.) මෙය ඉතිහාසයේ රජයක් විසින් තියපු ලොකුම පොල්ලක් කියා කියන්න පුළුවන්.

අපේක්ෂා කළ හැකි පරිදිම, ආජන්ටිනාව විසින් කළ යෝජනාව ණයහිමියන්ට බොහෝ අවාසිදායක එකක්. එහෙම නැත්නම් ප්‍රශ්නය කතා කරලා විසඳාගන්න තිබුණනේ. ඒ නිසා, ණයහිමියෝ මේ යෝජනාවට කැමති වීමේ ඉඩක් ලොකුවට තිබුණේ නැහැ.

මේ තත්ත්වය තුළ, කොහොම හරි ණයහිමියන්ව කැමති කර ගැනීම සඳහා, ආජන්ටිනාව පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කරගත්තා. එම නීතිය අනුව, ආජන්ටිනාවේ රජයට මෙම අවස්ථාව ප්‍රයෝජනයට නොගන්නා අයට අනාගතයේදී මීට වඩා හොඳ ඩීල් එකක් ලබා දිය නොහැකියි. ඒ වගේම, මේ ඩීල් එකේ දිනය අවසන් වූ පසු නැවත විවෘත කරන්නත් බැහැ. ඒ කියන්නේ දෙන දේ ගන්න වෙනවා. නැත්නම් ඒකවත් ලැබෙන්නේ නැහැ.

ඔය ඒකපාර්ශ්වීය යෝජනාව ඉදිරිපත් කරන කොට ණයහිමියන්ට වසර හතරකට කිට්ටු කාලයක් තිස්සේ තමන්ගේ ආයෝජනය වෙනුවෙන් කිසිම දෙයක් ලැබිලා නැහැ. ඒ වගේම ඔය බැඳුම්කර වල වෙළඳපොළ වටිනාකම නැත්තටම නැති වෙලා නිසා ඒවා කාටවත් විකුණන්නත් බැහැ. මේ තත්ත්වය යටතේ, කොයි තරම් අවාසිදායක වුණත්, සැලකිය යුතු පිරිසක් ආජන්ටිනාවේ යෝජනාවට කැමති වුනා.

මුහුණත අගය ඩොලර් බිලියන 81.8ක් වූ ස්වෛරිත්ව බැඳුම්කර වලින් ඩොලර් බිලියන 62.3ක් ඔය විදිහට ස්වේච්ඡාවෙන් හුවමාරු වුනා. ඒ වෙනුවෙන් ඩොලර් බිලියන 32.2ක අලුත් බැඳුම්කර ලබා දුන්නා. ඒ කියන්නේ මුහුණත අගයෙන් 51.7%ක්. නොගෙවූ පොලිය ගෙවීමක් සිදු වුනේ නැහැ. නමුත් හුවමාරු කර අලුතෙන් ලබා දුන් බැඳුම්කර වෙනුවෙන් ආජන්ටිනාව නියම පිළිවෙළට පොලී ගෙවුවා. ඒ නිසාම, ඒ බැඳුම්කර වලට ද්වීතියික වෙළඳපොළකුත් හැදුනා.

මේ අනුව, බැඳුම්කර වලින් 76.2%ක් හුවමාරු වුනා. මුදලේ කාල වටිනාකමද සැළකු විට හුවමාරුවට කැමති වූ අයට ලැබුණේ ලැබිය යුතුව තිබුණු මුදලින් 30%ක පමණ මුදලක්. හැබැයි ස්වෛරිත්ව බැඳුම්කර වලින් 24%ක් පමණ ඔය විදිහට හුවමාරු වුනේ නැහැ. ඒ අය ගේමම ඉල්ලුවා. අධිකරණ ක්‍රියමාර්ග වලට ගියා.

ආජන්ටිනාවේ විදේශ සංචිත ප්‍රමාණය 2002 වන විට ඩොලර් බිලියන 10.4 දක්වා අඩු වෙලයි තිබුණේ. දිගින් දිගටම සැලකිය යුතු ප්‍රාථමික අයවැය අතිරික්තයකුත් එහි උදවුවෙන් ජංගම ගිණුමේ අතිරික්තයකුත් පවත්වා ගැනීම මගින් මෙම සංචිත ප්‍රමාණය 2010 වන විට ඩොලර් බිලියන 52.2 දක්වා වර්ධනය කර ගැනීමට ආජන්ටිනාව සමත් වුනා. ඔය අතර 2006දී ආජන්ටිනාව විසින් IMF එකට ගෙවිය යුතුව තිබුණු ඩොලර් බිලියන 9.5ක ණය මුදලද එක පාරම ගෙවලා දැම්මා. මේ කාලයේදී ආජන්ටිනාවේ ආර්ථික වර්ධන වේගයද ඉහළ ගියා.

ඔහොම තියෙද්දී ආජන්ටිනාවට නැවත ජාත්‍යන්තර වෙළඳපොළට ගිහින් ණය ගන්න අවශ්‍ය වුනා. නමුත්, කලින් කරපු “වැරැද්ද” නිසා රෙද්දක් ඇඳගෙන ආපහු ණය ඉල්ලන්න අමාරු තත්ත්වයකුයි ඇති වෙලා තිබුණේ. ඒ නිසා, පාර්ලිමේන්තුව විසින් කලින් නීතිය වෙනස් කරලා කලින් සැරේ ලබා දුන් අවස්ථාවෙන් ප්‍රයෝජනයක් නොගත් අයට නැවත අවස්ථාවක් දුන්නා. මේ අවස්ථාවේදී පුද්ගල ආයෝජකයින්ට මුළු මුහුණත අගයම ආපසු ලැබුණා. ආයතනික ආයෝජකයින්ට එයින් 66.3%ක් ලැබුණා.

ඒ වෙද්දී කලින් අවස්ථාවේදී ණය හුවමාරුවට කැමති වුන අයට සල්ලි ලැබෙනවා. අනෙක් අයට කිසිවක් නැහැ. ඒ අයගෙන් කොටසක් අධිකරණ ක්‍රියාමාර්ග වලට ගිහින් හිටියා. ඉතිරි අය ඒ අයගේ පානෙන් එළිය බලන්න බලාගෙන හිටියා. එහෙම හිටපු බොහෝ දෙනෙක් ලොකුකම පැත්තකින් තියලා දෙවන අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තා. ඒ අනුව, මුළු ණය ප්‍රමාණයෙන් 91.3%ක් දක්වා හුවමාරු වුනා. හැබැයි ඉතිරි අය ඒ පාරත් ඩීල් එකට කැමති වුනේ නැහැ. ඒ අය දිගටම ගේමේම හිටියා.

මේ වෙද්දී හුවමාරු කර නොගැනුණු බැඳුම්කර වල මුහුණත අගය ඩොලර් බිලියන 6.8ක් වූ අතර එම කාලයට දිගටම කූපන් පොලී එකතු කළහොත් තවත් බිලියන 4.4ක් එකතු වී ඩොලර් බිලියන 11.2ක් වෙනවා. ණයහිමියන් විසින් මෙම මුදල ඩොලර් බිලියන 15ක් ලෙස ගණන් හදා තිබුණා. ඔවුන්ගෙන් කොටසක් එයින් තමන්ගේ පංගුව ලබා ගැනීම සඳහා දිගින් දිගටම අධිකරණ ක්‍රියාමාර්ග වල නියැලී සිටියා.

මෙම කාලය ඇතුළත (2012 දක්වා) අඩු වශයෙන් ණයහිමියන් හෝ කණ්ඩායම් 151ක් නිව්යෝර්ක් දකුණු දිස්ත්‍රික්කයේ අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් තමන්ගේ අරමුදල් වෙනුවෙන් සටන් කළා. ඔවුන් ඉල්ලා සිටි සහනය අනුව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක් කොටසක් උත්සාහ කළේ පාඩුව අවම වන සේ හැකි තරම් වැඩි මුදලක් ලබා ගෙන ගනුදෙනුව බේරාගන්නයි. දෙවන කණ්ඩායම උත්සාහ කළේ අන්තිම සතය දක්වා තමන් ඉල්ලන මුදල කෙසේ හෝ ලබා ගන්නයි. පළමු කණ්ඩායමේ අයගෙන් කොටසක් දෙවන වරට සිදු කළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන අධිකරණ ක්‍රියාමාර්ග වලින් ඉවත් වුනා. එහෙත්, ඔවුන්ගෙන් කොටසක් හා දෙවන කණ්ඩායම වැඩේ අත ඇරියේම නැහැ.

ඔය දෙවන කණ්ඩායමේ සිටියේ හෙජ් අරමුදල්. ඔවුන් මෙම බැඳුම්කර මිල දී ගෙන තිබුණේ ඒවායේ මිල කඩා වැටුණු පසුව කුණු කොල්ලයටයි. කවුරුවත් මිල දී නොගන්නා වෙලාවක ඒ විදිහට මේ බැඳුම්කර මිල දී ගන්නේම කාලයක් තිස්සේ නඩු කියා කෙසේ හෝ අධික ලාබයක් ලබා ගැනීමේ අරමුණිනුයි. පෝල් සිංගර්ගේ NML කැපිටල් සමාගම එවැනි අරමුදලක්. මෙවැනි අරමුදල් ඇතැම් අය විසින් වල්චර් අරමුදල් ලෙසද හඳුන්වනවා.

පෝල් සිංගර්ගේ NML කැපිටල් සමාගම විසින් තවත් සමාගම් හා පුද්ගලයින් 19 දෙනෙකු හා එක්ව ආජන්ටිනාවට එරෙහිව පැවරූ නඩුවක තීන්දුව අවසානයේදී ඔවුන්ට වාසිදායක ලෙස ලැබුණු අතර ආජන්ටිනාව විසින් ඩොලර් බිලියන 2.4ක මුදලක් පෙත්සම්කරුවන් වෙත ගෙවිය යුතු බව තීන්දු වුනා.

මෙම නඩු තීන්දුවට ප්‍රතිචාර දක්වමින් ආජන්ටිනාව විසින් ඇමරිකාවේ තිබුණු ආජන්ටිනාව සතු වත්කම් ඉවත් කර ගැනීමට උත්සාහ කරද්දී ඇමරිකාවේ තිබෙන ආජන්ටිනාවේ වත්කම් එළිදරවු කර ගැනීමට ඉඩ දෙන මෙන් පෙත්සම්කරුවන් විසින් කළ ඉල්ලීමටද අධිකරණය අනුමැතිය දුන්නා. මෙම ඉල්ලීමට එරෙහිව ආජන්ටිනාවට රාජ්‍යතාන්ත්‍රික මුක්තියක් නැති බවද අධිකරණය විසින් තීරණය කළා.

මෙම තීන්දුව ලැබෙන්නත් පෙර, 2012දී, NML කැපිටල් සමාගම විසින් ඝානාවේ අධිකරණයකින් නියෝගයක් ලබාගෙන ආජන්ටිනාවේ නාවුක හමුදාවට අයත් යාත්‍රාවක් ඝානාවේදී රඳවා ගනු ලැබූ අතර මෙය ආජන්ටිනාව විසින් කිසිසේත්ම අපේක්ෂා නොකළ දෙයක්. අවසානයේදී එම යාත්‍රාව බේරාගන්නට සිදු වුනේ ජාත්‍යන්තර අධිකරණයකට ගිහින්. මෙම සිද්ධියෙන් පසු ආජන්ටිනාවේ ජනාධිපතිවරයාට ඔහු ගමන් ගන්නා රජයට අයත් ගුවන් යානය වෙනත් රටකදී අත්පත් කර ගැනීමේ අවදානමට මුහුණ දෙන්නට සිදු වූ අතර, පෞද්ගලික ගුවන් යානා වලින් ගමන් කරන්නට සිදු වුනා.

අවසාන වශයෙන් ආජන්ටිනා රජයට ඇමරිකාවේ අධිකරණ නියෝගය අනුව පෙත්සම්කරුවන්ට ගෙවිය යුතු මුදල ගෙවනු හැර වෙනත් කළ හැකි දෙයක් තිබුණේ නැහැ. මෙම මුදල 2014 වසරේදී ගෙවනු ලැබුවා. වසර 14ක අඛණ්ඩ සටනකින් පසු පෝල් සිංගර් විසින් ඔහුගේ ආයෝජනය වෙනුවෙන් 20.5 ගුණයක ප්‍රතිලාභයක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. මුහුණත අගය ඩොලර් මිලියන 617ක් වූ මෙම ස්වෛරිත්ව බැඳුම්කර මිල දී ගැනීම සඳහා වැය කර තිබෙන්නේ ඩොලර් මිලියන 117ක් පමණයි.

මේ විදිහට රටක් අමාරුවේ වැටුනට පස්සේ මස් රාත්තලම ඉල්ලන එක වැරදිද?

ස්වෛරිත්ව බැඳුම්කර වල ආයෝජනය කරන කෙනෙක් එහෙම කරන්නේ ආයෝජනය කරන්න වෙන විකල්ප නැති නිසා නෙමෙයි. ගන්න අවදානමට සාපේක්ෂව වැඩි අවදානමක් තිබෙන නිසා. ලංකාවම ගත්තත්, ඉතිහාසයේ කවදාවත් ණය පැහැර හැරලා නැති බව, රටේ ආර්ථිකය වේගයෙන් වර්ධනය වන බව, සාර්ව ආර්ථික තුලනය ඉතාම හොඳින් තිබෙන බව වගේ දාහක් දේවල් කියලා තමයි ඔය ස්වෛරිත්ව බැඳුම්කර ආයෝජකයින්ගේ ඇඟේ ගහලා තියෙන්නේ.

එහෙම කොයි තරම් දේවල් කිවුවත් ලංකාව වගේ රටක් අන්තිමට පොල්ල තියයි කියන සැකය නැති කරන්න අමාරුයි. පොල්ල තිබ්බොත් පුද්ගලයෙක්ගෙන් හෝ සමාගමකින් වගේ ලේසියෙන් රජයකින් ණය ආපසු අය කර ගන්න බැරි බව ආයෝජකයෝ දන්නවා. මොකද රජයකට නීතියෙන් පුද්ගලයින්ට හෝ සමාගමකට නැති මුක්තියක් හිමි වෙනවා. මේ හේතුව නිසා ගොඩක් වෙලාවට රජයන් විසින් ස්වෛරිත්ව බැඳුම්කර විකුණද්දී ඔය රාජ්‍යතාන්ත්‍රික මුක්තිය අත හරින්න පොරොන්දු වෙනවා. ඊට පස්සේ කොන්දේසි කඩ කරලා නඩු වැටුනට පස්සේ ආයි ඥාව් ගාන්න බැහැ.

ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරන රජයයන්ට මතු ආරක්ෂාවට පිණිස කළ හැකි තවත් දෙයක් තියෙනවා. ඒවාට කියන්නේ Collective Action Clause (CAC) provisions කියලා. ගිවිසුමට මේ කොන්දේසි ඇතුළත් කර ගත්තොත්, ණය පැහැර හැරීමකදී බහුතර ණයහිමියන් කැමති වන ඩීල් එකක් ඉතිරි අයටත් භාර ගන්න වෙනවා. ආජන්ටිනාව මේ ගැන බරපතල ලෙස හිතලා තිබුණේ නැහැ.

ආජන්ටිනාව දමා ගත්තේ නැතත්, ලංකාව විසින් ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරද්දී Collective Action Clause (CAC) provisions දමාගෙන තිබෙනවා. මේක ලංකාවට වාසියක්. ඒ නිසා, කොහොම හරි බැඳුම්කරහිමියන්ගෙන් 75%ක කැමැත්ත ගත්තොත් ඉතිරි 25%ට කරන්න දෙයක් නැහැ. හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් බැඳුම්කරයකින් 25%ක්ම එකතු කරගෙන තියෙන්නේ මේ නිසා. හැබැයි තනි තනි බැඳුම්කර වලට නැතුව මුළු ලොට් එකටම එකම හුවමාරු කොන්දේසි ඉදිරිපත් කළොත් ඔය 75% සීමාව 66.6% දක්වා අඩු වෙනවා. ඊට අමතරව එක් එක් තනි බැඳුම්කරයේ ණයහිමියන්ගෙන් 50%ක කැමැත්තත් අවශ්‍ය වෙනවා.

ලංකාවට තියෙන අභියෝගය ඔය සීමා පන්නගන්න එක. එහෙම කරගත්තොත් සුළුතරයට කරන්න දෙයක් නැහැ. හැබැයි ඔය විදිහට බහුතරය කැමති කරගන්නනම් හොඳ ඩීල් එකක් දෙන්න වෙනවා. වැඩිපුර වාසි ගන්න හදලා වැඩි දෙනෙක් අකැමැති වුනොත් ඊට පස්සේ දිගින් දිගටම නඩු තමයි.

#ඉකොනොමැට්ටා

අන්තර් ජාලයෙන් උපුටා ගන්නා ලදී

Social Sharing
පුවත් විශේෂාංග