අනුරාධපුර රැඳවියා මියගියේ ඖෂධ හිඟ වීම නිසාමද?     

මානසික ආබාධයකින් පෙළුණු සිය මස්සිනා හට අනුරාධපුර බන්ධනාගාරයේදි ඖෂධ ප්‍රතිකාර කිසිවක් ලබානොදි මරු කැඳවීමට නිලධාරින් කටයුතු කර පසුව ඔහුගේ මරණය පිළිබදව වැඩිදුර පරික්ෂන සිදුනොකර මරණයට හේතුව අසනීපයක් බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් දැඩි සැකයක් ඇතිව තිබෙනා බවත් සහෝදරයාගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් බව මරණකරුගේ සොහොයුරෙකු වන රුක්මල් පතිරණ මහතා පැවසුවේය.

ගල්නෑව පොලිස්වසමේ කත්තරගම ගල්නෑව ලිපිනයේ පදිංචිව සිටි අනිල් දයානන්ද (44) මහතා පසුගිය (16දා) අනුරාධපුර බන්ධනාගාරය තුලදී රෝගතූරවී අනුරාධපුර ශික්ෂන රෝහලේ හදිසි දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කල බවට අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරින් පැවසුවත් එය හුදෙක් නිර්මානයක් බව ඔහු පැවසුවේය.

අනුරාධපුර රැඳවියා මියගියේ ඖෂධ හිඟ වීම නිසාමද?

ඔහුගේ මරණයට හේතුව ලගම ඥාතින් වන මව ඇතුළු කිසිදු පුද්ගලයෙකු තවම නිශ්චිතව නොදන්නා බව ඔහු පැවසුවේය. තමන්ට අමතරව මරණකරුගේ මව වැඩිමහල් සහෝදරයා හා නැගණිය ඔහුගේ මරණය පිළිබදව දැඩි සැකයකින් පසුවන බව පැවසු අතර ගල්නෑව පොලිස්ථානයේ රථවාහන පොලිස් නිලධාරියෙකු සමග අනියම් සබධතාවක් පවත්වනා මරණකරුගේ බිරිද පමණක් අනුරාධපුර ශික්ෂන රෝහල් මෘත ශරීරාගාරයේ පැවති පශ්චාත් මරණ පරීක්ෂනයට කැඳවීම නිසා තමන් ඇතුළු ඥාතින්ට මරණය සැකය පිළිබදව විරෝධය පෑමට නොහැකිවු බව ඔහු කීවේය.

මරණයට පත් වූ සහෝදරයාගේ නෑනා බව කියන රෝහල් සේවිකාවකට ආරවුලක් නිසා කතුරකින් ඇනීම සම්බන්ධයෙන් ඇතිවු ගැටුමක් ඒක පාර්ශිකව විසඳූ ගල්නෑව පොලිස්ථානයේ නිලධාරීන් ඔහු මානසික රෝගියෙකු බව සගවමින් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර අවස්ථා දෙකක් රක්ෂිත බන්ධනාගාර ගතකල බවත් ඔහු මානසික රෝගයකට ඖෂධ ගන්නා බව සගවා ඖෂධ ප්‍රතිකාර පවා නොමැතිව මියගිය බව ඔහු කීවේය. මරණය සම්බන්ධයෙන් දැඩි සැකකයක් පවතින බව පවසන මියගිය පුද්ගලයාගේ නැගණියගේ සැමියා වන රුක්මල් පතිරණ මහතා. මැරිච්ච කෙනා මගේ මස්සිනා. ඔහු මානසික රෝගියකු නිසා වසර ගණනාවක් බෙහෙත් ගත්තා.

බෙහෙත් බිව්වේ නැත්නම් ප්‍රචණ්ඩව හැසිරෙනවා. දින කිහිපයක්ම බන්ධනාගාර ගතව සිටි ඔහුට ප්‍රතිකාර ලැබිලා නෑ. ගල්නෑව පොලිසිය මේ සියල්ල සගවලා තමයි නෑනට කතුරෙන් ඇනපු සිද්ධියට මස්සිනා අධිකරණයට ඉදිරිපත් කලේ.

බෙහෙත් නැතිව ඔහු බන්ධනාගාර සිර මැදිරියේ අනිවාර්යෙන්ම ප්‍රචණ්ඩව හැසිරෙන්න ඇති. අනිවාර්යෙන්ම නිලධාරින් පහර දෙන්න ඇති. ඒ සමගම හෘද්‍යා බාධයක් එන්න ඇති කියලා අපි හිතනවා. නෑනා ගල්නෑව රෝහලේ සේවයේ නියුතුයි. සිද්ධියෙන් පසුව ඇය නේවාසික ප්‍රතිකාර ගන්නා බව කියමින් රෝහලේ සේවයෙත් නිරතවෙලා තිබුණා. සුළු සිද්ධියකට තමයි අයියා අත්අඩංගුවට අරගෙන මරණයට පත්කලේ.

මස්සිනාගේ බිරිද ගල්නෑව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙකු සමග අනියම් සම්බන්දතාවයක් පැවත්වීම. ගල්නෑව පොලීසියේ නිලධාරින් ඇවිල්ලා නිවසේ මත්පැන් සාද පැවත්වීම වැනි කරුණු නිසා ඔහු තනිවම ජීවත්වුනේ.

මානසික ආබාධයක් තිබ්බට ගමේ හැමෝම සමග හොදින් හිටපු ඔහුට අන්තිමේදී අවාසනාවන්ත විදියට බන්ධනාගාර සිරමැදිරියක් තුල මැරෙන්න සැලස්සුවේ ගල්නෑව පොලිසියේ අමානුෂික නිලධාරින් හා අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරින්. ඔහු අසනීපවුන දිනයේ රෝහලට ආපු නිලධාරින් කිවුවා අසනීපවෙලා අනුරාධපුර දැඩි සත්කාර ඒකකයේ පැය කිහිපයක් ප්‍රතිකාර සදහා යොමුකරා කියලා.

නමුත් රෝහලේ රෝගීන් ඇතුල්කර ගන්නා ගේට්ටුවේ සිටි හෙද නිලධාරිනිය කිවුවා ඔහු මැරිලා රෝහලට ගෙනල්ලා මෘතශරිරාගාරයට දැම්මා කියලා. බන්ධනාගාර නිලධාරින්ට අපි ඒ බව කිවුවම ඔවුන් නිරුත්තර වුනා. මේක ස්වාභාවික මරණයක් නෙමෙයි බන්ධනාගාරයෙදී සිදුකල අමානුෂික පහරදිම් නිසා සිදුවු ඝාතනයක්.

ඔහුට පහරදීම නිසා අසනීපවෙලා තියෙන්නේ (16දා) සවස හතරයි කාලට. රෝහලට ගෙනල්ලා තියෙන්නේ සියළුම සාක්ෂි විනාශ කරලා සිද්ධියක් නිර්මානය කරලා රාත්‍රී හතයි කාලට.

පශ්චාත් මරණ පරික්ෂනයට සහභාගිවුනේ බිරිද. ඔහු ගල්නෑව පොලිසියේ නිලධාරියෙකුගේ අනියම් බිරිදක්. අනිල් අයියාව පොලිස් අත්අඩංගුවට ගත්වෙලාවේ බිරිද අයියා එක්ක කියාල තියනවා මේ පාර හොද පාඩමක් උගන්නනවා කියලා. මරණයට පත්වූ පුද්ගලයාට සාධාරණයක් ඉෂ්ඨ වෙන්න නම් නැවත අපක්ෂපාති පරික්ෂනයක් ඕන යනුවෙන් ඔහු පැවසුවේය.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරික්ෂනය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියෙන් සිදුකල විමසීමකදී ඔහු මානසික අබාධයකින් පෙලෙන හා හෘද්‍යා බාදයකින් මියගොස් ඇති බවට අනුරාධපුර ශික්ෂන රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් වාර්ථාව නිකුත් කර තිබු බවත් එහි හේතු සියල්ල මතක නැති බවත් පොලිසිය පැවසුවේය.

චෝදනාව සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරි සෙනරත් සේනානායක මහතාගෙන් දුරකථනයෙන් කල විමසීමකදි ඔහු මෙසේ පැවසුවේය. ඒ රැදවියා හුගක් පවුල් ප්‍රශ්න තිබුණු අයෙක්. ඔහු මානසික ආතතියෙන් පෙළුනා.

සිරමැදිරියේ කලහකාරි අන්දමින් පරුෂ වචන කියමින් හැසිරුනා. ඔහු සිහිසුන්ව සිටියදී තමයි නිලධාරින් බන්ධනාගාර වෛද්‍යවරයාට යොමු කලේ. වෛද්‍යවරයා පරික්ෂා කරලා තමයි රෝහල් ගතකරේ. රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඔහුට කිසිම නිලධාරියෙකු පහර දුන්නේ නෑ යනුවෙන් අධිකාරිවරයා පැවසුවේය.

මහේෂ් විජේසූරිය – අනුරාධපුර

Social Sharing
නවතම