ආර්ථික අර්බුධය අවසන් නෑ – ලෝක බැංකු වාර්ථාවෙන් කියයි

ඉහළ දරිද්‍රතා මට්ටම්, ආදායම් අසමානතාව සහ ශ්‍රම වෙළඳපොළ ගැටලුවලට ශ්‍රී ලංකාව තවමත් මුහුණදෙන බව ලෝක බැංකුවේ නවතම ද්වි- වාර්ෂික වාර්තාවකින් හෙළිකර තිබේ.

2022 දී ඇති වූ දරුණු ආර්ථික පසුබෑමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරවීමේ ලකුණු පෙන්නුම් කරමින් 2024 වසරේ දී 2.2%ක මධ්‍යස්ථ වර්ධනයක් අපේක්ෂා කරන බව ද ලෝක බැංකුව පවසා තිබේ.

‘Sri Lanka Development Update – Bridge to Recovery’ මැයෙන් අද නිකුත් කරන ලද වාර්තාවට අනුව ප්‍රේෂණ වැඩිවීම සහ සංචාරක ව්‍යාපාරයේ නැවත නැගීම වැනි කරුණු හේතුවෙන් ශ්‍රී ලංකාව උද්ධමනය පහත වැටීම, නව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ පසුබිම මත ඉහළ ආදායමක් සහ දශක පහකට ආසන්න කාලයක් තුළ ප්‍රථමවරට ජංගම ගිණුමේ අතිරික්තයක් දකින බව පෙන්වා දී තිබේ.

කෙසේවෙතත්, 2023 වසරේ ශ්‍රී ලාංකිකයන්ගෙන් 25.9%ක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත්වන බවට කර තිබෙන ඇස්තමේන්තු මධ්‍යයේ ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාතිකය අඛණ්ඩව සිව්වැනි වසරටත් අඛණ්ඩව ඉහළගොස් තිබේ.

ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් වසා දැමීම මත ආදායම් අහිමිවීම් සහ රැකියාවෙන් ඉවත්වීම් වැනි විවිධ පීඩනයන් සමඟ ගෘහ ඒකක පොරබදමින් සිටී.

ඉහළයන වියදම් ආහාර අවශ්‍යතා සපුරාලීමට සහ සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා වියදම් පවත්වාගෙන යෑමට කුටුම්භ ණය ගැනීම මීට හේතු වී තිබේ.

“ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත්වීමේ මාවතේ යමින් පවතින නමුත්, ශක්තිමත් සහ විශ්වසනීය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල මාවත අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමත් සමඟ ආර්ථික අර්බුදයේ බලපෑම දුප්පතුන්‍ට සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ට අවම කිරීම සඳහා දරන අඛණ්ඩ උත්සාහයන් ඉතා වැදගත්. මෙයට ද්විපාර්ශ්වික උපාය මාර්ගයක් ඇතුළත්. පළමුව, සාර්ව ආර්ථික ස්ථාවරත්වයට දායකවන ප්‍රතිසංස්කරණ පවත්වා ගැනීම සහ දෙවනුව, ආර්ථික වර්ධනයට සහ දරිද්‍රතාව අඩුකිරීම සඳහා තීරණාත්මක වන පෞද්ගලික ආයෝජන සහ ප්‍රාග්ධන ගලාඒම උත්තේජනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම කළයුතු වනවා,” යැයි මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකුවේ අධ්‍යක්ෂ Faris Hadad-Zervos අවධාරණය කළේය.

උද්ධමනය ක්‍රමයෙන් වැඩිවීම සහ ජංගම ගිණුමේ කුඩා අතිරික්තයක් සමඟින් ශ්‍රී ලංකාව 2025 දී 2.5%ක සාමාන්‍ය වර්ධනයක් වාර්තා කරනු ඇති බවට අපේක්ෂා කෙරේ.

කෙසේවෙතත්, දරිද්‍රතා අනුපාත 2026 දක්වා 22%ට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

විශේෂයෙන් ම ප්‍රමාණවත් නොවන ණය ප්‍රතිව්‍යුහගත කිරීම්, ප්‍රතිසංස්කරණ ආපසු හැරවීම, මූල්‍ය අංශයේ දුර්වලතා සහ අර්බුදයේ කල්පවත්නා බලපෑම සම්බන්ධයෙන් ඉදිරි දැක්මේ අවදානම තවදුරටත් පවතින බව එම වාර්තාව කියයි.

උපුටා ගැනීම –  rata.lk

Social Sharing
නවතම පුවත් විශේෂාංග