‘පාස්කු ප්‍රහාරකයින් ගැන දැනගෙන තොරතුරු වසන් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක්’

2019 Sri Lanka Easter bombings Maithripala Sirisena

පාස්කු ප්‍රහාරය යළිත් වරක් ශ්‍රී ලංකාව තුළ දැඩි කතාබහකට මාතෘකාවක් වී තිබේ. ඒ, තවත් දින කිහිපයකදී පාස්කු ප්‍රහාරය එල්ල වී වසර 5ක් සම්පූර්ණ වීමට නියමිතව තිබීම හේතුවෙන් නම් නොවේ. සිකුරාදා (මාර්තු 22) හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙනි.

වසර ගණනාවක් පුරා විවිධ කොමිෂන් සභාවලට සාක්ෂි දෙමින්, විවිධ නඩු විභාගවලට මුහුණ දෙමින් සිටි මෛත්‍රීපාල සිරිසේන හදිසියේ සිකුරාදා දිනයේ ප්‍රකාශ කළේ, පාස්කු ප්‍රහාරය එල්ල කළේ කවුරුන් ද යන්න තමන් දන්නා බව ය.

“පාස්කු ප්‍රහාරයත් අපි දන්නවා කොහෙන් ද සිද්ධ වුණේ කියලා. ඔය නඩු අහන ඒවෑ ඒ අල්ලලා තියෙන ත්‍රස්තවාදියෝ ඒක හරි. ඒ මම අල්ලපු අය තමයි දැන් ඔය නඩු අහන්නෙ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මගින්. අනිත් පැත්තෙන් ගත්තා ම ප්‍රධාන වශයෙන් ම පාස්කු ප්‍රහාරය සැබෑ ලෙස ම කළේ කවුද කියලා තව ම කිසි කෙනෙක් කියල නෑ. හැබැයි ඒක මම දන්නවා කවුද කළේ කියලා. මට අධිකරණයෙන් යම්කිසි ඉල්ලීමක් කළොත්, නැත්නම් නියෝගයක් කළොත් ඇවිල්ලා මට මේ ගැන ප්‍රකාශයක් කරන්න කියලා, මම ලෑස්තියි කවුද මේ පාස්කු ප්‍රහාරය කළේ කියන එක. අනික් කාරණය තමයි, ප්‍රධාන වශයෙන් ම එය ඉතාමත් රහසිගතව තබා ගැනීම ඒ විනිශ්චයකාරතුමන්ලාගෙත් වගකීමක් වෙනවා,” ඔහු ප්‍රකාශ කළේ ය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණ හමුවේ පවතින නඩු මොනවාද?

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

ඒ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහා ම විමර්ශනයක් සිදුකරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස්පතිවරයාට නියෝග කළේ ය.

ඒ අනුව, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබදව වහා ම විමර්ශනයක් සිදුකරන ලෙසට නියෝග කර තිබේ.

මේ අනුව, ඉදිරි පැය කිහිපය ඇතුළතදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළේ ය.

ඒ අනුව අද (මාර්තු 25 වැනිදා) පෙරවරුවේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දීමට නියමිතය.

‘විමර්ශනවලදී සහ නඩු විභාගවලදී සත්‍යය හෙළි නොකළේ ඇයි?’ – අගරදගුරු පදවියේ මතය

පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු දැන සිටියේ නම් විමර්ශනවලදී සහ නඩු විභාගවලදී එය හෙළි නොකළේ මන්ද යන්න ගැටලුසහගත බව අගරදගරු පදවියේ සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා බීබීසී සිංහල සේවයට පැවසීය.

“එයා මිලියන 100ක් ගෙවන්න වුණ නඩුවේදිවත් කිව්වෙ නෑ මේ ගැන දන්නවා කියලා. පාස්කු කොමිෂන් සභා වාර්තාවලත් එයා කිව්වේ, එයා දන්නෙවත් නෑ කියලා. එහෙම කියපු එක රටේ අධිකරණය, ජනාධිපති කොමිෂන් සභා හෑල්ලුවට ලක් කිරීමක්. සත්‍ය වසන් කිරීමක්.”

“ඒ නිසා මෙයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට අරගෙන රඳවා තබාගෙන කට උත්තර ගන්න ඕන බැරෑරුම් දෙයක්,” බව ද ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා වැඩිදුරටත් පැවසීය.

“අනිත් එක ඔහු කියලා තියෙනවා, තමන් හෙළි කරන කරුණු රහසිගතව තියා ගන්න එක විනිසුරුවරුන්ගේ වගකීමක් කියලා. ඒක එහෙම වෙන්න බෑනෙ. මොක ද, වරදකරුවෙකු හොයා ගත්තා නම් ඔහුට එරෙහිව නඩු විභාගයක් කරල දඩුවම් දිය යුතු යි. එහෙම නැතුව වැරදිකරුට නිදැල්ලේ ඉන්න කියන්න පුළුවන් ද ඔහුට?”

පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් පිළිබදව කරුණු දැනගෙන එය වසන් කිරීමේ වරදට සැකකරුවෙකු ලෙස මෛත්‍රීපාල සිරිසේන වහා අත්අඩංගුවට ගත යුතු බව විවිධ පාර්ශවවල මතය වී තිබේ.

කෙසේ වෙතත්, මාධ්‍යවල විකාශය වූ ප්‍රකාශයක් මත මෛත්‍රීපාල සිරිසේන අත්අඩංගුවට ගත නොහැකි බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉරිදා (මාර්තු 24) මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

“රූපවාහිනියේ විකාශය වුණ එතුමාගේ ප්‍රකාශය දිහා බලලා, එතුමා අත්අඩංගුවට ගන්න කියලා කියන අයගේ ප්‍රකාශවල කිසිදු පදනමක් නෑ. එතුමාගේ ප්‍රකාශය සටහන් කරගෙන ඒ පිළිබඳව විමර්ශනයක් කරලා අවසානයේදී ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් අපට ඒ වගේ තීරණයක් ගන්න පුළුවන් වෙයි. කෙනෙක්ගෙ ප්‍රකාශයක් මාධ්‍යවලින් දැකල අත්අඩංගුවට ගන්න කියල කියනවා නම් මේ රටේ පුදුම තත්ත්වයක් නෙ ඇති වෙන්නේ,” පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර, අදාළ ප්‍රකාශය ලබා දීමෙන් පසුව ඔහුට ආරක්ෂාව අවශ්‍ය නම් එය සලසා දිය හැකි බව ද පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ ය.

‘තොරතුරු වසන් කිරීම වරදක්’

ශ්‍රී ලංකාවේ නීතිය අනුව අපරාධයක තොරතුරු හෝ සාක්ෂි වසන් කිරීම වරදක් බව නීතිඥ උපුල් කුමරප්පෙරුම පවසයි.

බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, පාස්කු ප්‍රහාරය එල්ල කළේ කවුද යන්න දැනගෙන මෛත්‍රීපාල සිරිසේන එම තොරතුරු හෙළි නොකර සිටියා නම් එය බරපතළ වරදක් බව ය.

“තොරතුරු වසන් කිරීම කියන්නේ වරදක්. දණ්ඩ නීති සංග්‍රහය යටතේත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේත් ඒක වරදක්. ලංකාවේ ක්‍රියාත්මක නීතිය යටතේ තොරතුරු වසන් කරන්න හැකියාවක් නැහැ. මේක මේ පොල් ගෙඩි කීපයක් හොරකම් කිරීම වගේ සුළු ප්‍රශ්නයක් නෙවේ. මේක රට මුහුණ දුන්න විශාල ඛේදවාචකයක් ගැන රටේ පළමුවෙනි පුරවැසියා ලෙස කටයුතු කරපු ජනාධිපතිවරයෙක් කරන ප්‍රකාශයක්. ඒ නිසා ඔහු මේ බරපතළ තොරතුරු වසන් කරගෙන හිටියා නම් ඒක දඩුවම් ලැබිය යුතු වරදක්.”

මේ අතර, බොරු සාක්ෂි හෝ බොරු තොරතුරු ඉදිරිපත් කිරීම ද බරපතළ වරදක් බව නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ පැවසීය.

“යම් අපරාධයක් සම්බන්ධයෙන් බොරු සාක්ෂි දීම එම අපරාධයේ ස්වභාවය අනුව ඊට ලැබිය යුතු දඩුවම ලැබිය හැකි වරදක්. මරණීය දණ්ඩනය ලැබෙන වරදක් සම්බන්ධයෙන් බොරු සාක්ෂි දීම මරණීය දණ්ඩනය ලැබිය යුතු වරදක්,” නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ පැහැදිලි කළේ ය.

නිදොස්කොට නිදහස් වූ සැකකරුවෝ

මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු බවට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙක් ද වසර ගණනාවක් සිර දඩුවම් වින්දෝ ය. තවත් කිහිප දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියහ.

ඒ අතරින්, වසර ගණනක් රක්ෂිත බන්ධනාගාරගතව සිට නිදොස් කොට නිදහස් වූ කිහිප දෙනෙක් වූහ.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වූ හේමසිරි ප්‍රනාන්දු ද ඒ අතර වූහ.

“මේ වගේ නිකරුණේ බන්ධනාගාරවල මිනිස්සුන්ට දුක් විදින්න සිද්ධ වුණේ හරි තොරතුරු සහ සාක්ෂි නොතිබුණ නිසා නෙ. ඉතින් මෛත්‍රීපාල සිරිසේන නිවැරදි තොරතුරු දැනගෙන ඒවා වසන් කරගෙන හිටියා නම් ඒක ලොකු වරදක්,” නීතිඥ උපුල් කුමරප්පෙරුම පැවසීය.

පාස්කු ඉරිදා නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු පොලිස්පති නිදොස්කොට නිදහස් කළේ ඇයි?

වසර දෙකකට පෙර කීවේ කුමක් ද?

කෙසේ වෙතත්, 2020 ජූනි මස 14 වන දා බීබීසී සිංහල සේවයේ මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ, ප්‍රහාරයට වගකිව යුත්තන්ට එරෙහිව නඩු විභාග වෙමින් පවතින බව ය.

“හිස් තැන ඉතින් අද පරීක්ෂණ වලින් බොහොම පැහැදිළිව පෙනී ගිහින් තියෙනවනේ. කවුද වගකිව යුත්තෝ කියල මේ වන විට බොහොම පැහැදිලිව පෙනී ගිහිං තියෙනවා. ඒ හිටපු වගකිවයුතු අයගේ තමා සේවය තහනම් කරලා දැන් ඔය නඩු විභාග වෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩු දාලා තියෙනවා ඒ අයට. ඉතිං ඕක මේ බොහොම පැහැදිළියි. තව තියෙන තත්ත්වයන් ගත්තම හාරහාර කවුද මේක කියන්න තරම් මහා යටට යන්න දෙයක් නෑ. දැන් මේක පරීක්ෂණවලින් ඔක්කොම එළිවෙලා තියෙනවා කවුද වගකිව යුත්තෝ කියලා. දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩු දාලා දැන් නඩු විභාග වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග වෙනවා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග වෙන දෙයක්. ඉතිං ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග වෙන දෙයක්, දැන් ජනාධිපති කොමිෂන් සභාවේ කටයුතු කෙරීගෙන යනවා. ඒ නිසා මේක අපි මාධ්‍ය තුළ කතා කිරීමත් සුදුසු වෙන්නේ නෑ.”

BBC සිංහල සේවය

Social Sharing
අවකාශය නවතම විශේෂාංග