තෙලිජ්ජවිල සිදු වූ වෙඩි තැබීමේ විමර්ශන තවමත් අතරමඟ…

මාතර – තෙලිජ්ජවිල ප්‍රදේශයේදී පසුගිය ජනවාරි මස 20 දින රාත්‍රියේ දුරකථන උපාංග අලෙවිසලක සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, අපරාධකරුවන්ගේ ඉලක්කය වූ පුද්ගලයා නොවන බවට පොලිස් විමර්ශනවලින් අනාවරණය වූයේ එම මාසය තුළ දීය.

මෙම වෙඩි තැබීමෙන් 22 හැවිරිදි තරුණයෙකු වන මින්දික අලුත්ගමගේ නමැති දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මිය ගිය අතර මෙම වෙඩි තැබීම සිදු කර තිබුණේ අදාළ වෙළඳ සැලේ හිමිකරු ඉලක්ක කර ගෙන බවට පොලීසිය සිදු කළ විමර්ශනවලදි තවදුරටත් අනාවරණය වී තිබිණි. වෙඩි වැදී මියගිය තරුණයාගේ මව මේ වන විට අසනීප තත්වයේ පසුවන බවත් ඔහුගේ ඝාතනය සම්බන්ධව නීතිය ක්‍රියාතමක වන්නේ අකාර්‍යක්ෂම අයුරකින් බවත් ඔහුගේ දෙමාපියන් පවසා සිටියි.

ඔවුන් තවදුරටත් පවසන්නේ මෙම සිදුවීම සිදු වූ වෙළඳසැලේ සවිකර ඇති CCTV කැමරා වල පටිගත වූ දර්ශන ඔස්සේ සැකකරුවන් සහ ඔවුන් පැමිණි යතුරුපැදිය මනාව දැක ගැනීමට හැකියාවක් තිබියදීත් මේ දක්වා එම පුද්ගලයන් අත්අඩංගුවට නොගැනිම පිළිබඳ ඔවුන්ට ඇත්තේ දැඩි කුතුහලයක් බවයි. ඔවුන් මේ වන විටත් ජනාධිපති තුමන් ඇතුළුව මහජන ආරක්ෂක අමාත්‍ය වන ටිරාන් අලස් මහතා හට ද ලිඛිතව මෙම සිදුවීම සම්බන්ධයෙන් දන්වා ඇති අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කර තිබේ.

මිය ගිය තරුණයාගේ පියා වන අලුත් ගමගේ සරත් මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මේ අපරාධය පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදු කරන නිලධාරීන් ඉවත් කර වෙනත් අපක්ෂපාතී කණ්ඩායමක් යොදවන ලෙසයි.

Social Sharing
නවතම පුවත්