ඩයනා ගමගේගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

සිය පක්ෂ සාමජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය නීත්‍යානුකූල නොවන බවට තීන්දු කර එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන තිබේ.

ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත් විණි.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටින සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අත්‍යවශ්‍ය පාර්ශව කිහිපයක් නම් කර නොමැති බව පෙන්වා දී තිබේ.

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයින් හා විනය කමිටුවේ සියලු සාමාජිකයින් අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර නොමැති වීම බරපතළ නීතිමය දෝෂයක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ අනුව අදාළ පෙත්සමක් තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බවත් සඳහන් කළේය.

පූර්ව අවසර ලබා ගැනීමකින් තොරව රජයට සහාය පළ කිරීමට ඩයනා ගමගේ මහත්මිය ගනු ලැබූ තීරණය  සමගි ජන බලවේගයේ පක්ෂ ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම පටහැනි බවින් ඒ මඟින් ඇය පක්ෂ විනය උල්ලංඝනය කර තිබෙන ආකාරය සක්සුදක් සේ පැහැදිලි වන බව ජනාධිපති නීතිඥවරයා පවසා ඇත.

ඒ අනුව ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බවත් ඇය විසින් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම නිශ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව කිසිදු සාධාරණ විනය පරීක්ෂණයක් නොපවත්වා තමාව පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Social Sharing
නවතම පුවත්