ආඩම්බර අයර්ලන්ත ජාතිකයා ඔස්කාර් දිනාගනී.

cillian murphy oscar wins

ඇත්තම කිව්වොත් මේ දවස්වල මගේ සිනමා වීරයෙක් කිරුළ පැළදුවා. ඒත් කනගාටුවට කරුණ නම් අද දවස ගෙවෙනකම් මට ඔහු ගැන වචනයක්වත් ලියන්න බැරිවුනා. එච්චරට වැඩ, රැස්වීම්, හමුවීම්, කියවීම්, ලිවීම්, මේ එහි අවසාන එක…

ඊයේ (10/03/24) පැවති 2024 වසරේ ඔස්කාර් සම්මාන උලෙළේදී හොඳම නළුවාට හිමි සම්මානය හිමිකරගත්තේ මේ දවස්වල මගේ සිනමා වීරයෙක්.. ඔහු කිලියන් මර්ෆි (Cillian Murphy). මර්ෆි  (Murphy) කියලා මගේ දරුවන්ගේ ප්‍රකට ගුරුවරියක් ඉන්නවා (Mrs. Murphy) ඇය වගේම ඔහුත් (Cillian Murphy)  අයර්ලන්ත ජාතිකයෙක්. කිලියන් මර්ෆි (Cillian Murphy) වඩා ප්‍රසිද්ධ වූයේ බ්‍රිතාන්‍යයේ නිර්මාණය කර ලෝකය පුරාම ප්‍රචලිතවූ Peaky Blinders (2013–2022) ටෙලිනාට්‍ය මාලාවේ Tommy Shelby ගේ චරිතය නිරූපනය කිරීමෙන්.

Tommy Shelby ලා කියන්නේ බ්‍රිතාන්‍යයේ Birmingham නගරය කේන්ද්‍ර කරගත් මැරයෝ. ඔවුන්ගේ ආධිපත්‍යය ව්‍යාපාර ක්ෂේත්‍රයේ විතරක් නෙමේ බ්‍රිතාන්‍යය දේශපාලන ක්ෂේත්‍රයටත් පැතිර තිබුණා. වින්සන්ට් චර්චිල් වැනි බ්‍රිතාන්‍යයේ ප්‍රකට අගමැතිවරු පමණක් නෙවෙයි, බ්‍රිතාන්‍යයේ දේශපාලනය පක්ෂත්, සමාජ, දේශපාලන, සුබසාධන ව්‍යාපාර පවා Shelby ලා ගෙන් මුදල්, ආධාර සහ ආරක්ෂාව සපයා ගත් බව බ්‍රිතාන්‍යය සමාජය පිලිගත් කාරණයක්.

ඒත් Shelby ලා කියන්නේ ලංකාවේ ‘තුන්මුල්ලේ පද්මේ’ වගේ ‘දෙකයි පනහේ’ මැර චරිත නිරූපනය කල අය නෙමේ. ඔවුන්ට සංස්කෘතිය, භාෂාව, කලාව, සාහිත්‍යය, දේශපාලනය ගැන හොද කියවීමක් වගේම හොද තක්සේරුවක්, භාවිථාර්තයක් තිබුන අය. ඔවුන්ට සමාජයේ විවිධ තීරු සමග තමන්ගේම වු අනන්‍යතාවයක් තුල කටයුතු කළ හැකිවූ අය.

මේ චරිතය කිලියන් මර්ෆි (Cillian Murphy) අකුරටම රගපානවා… ඇඩෙන්න රගපානවා…ඒක ගැන සැකයක් නෑ… ඉස්සර වගේ නම් මම ඔහුගේ ලොකු පොස්ටරයක් මගේ කාමරයේ ගහ ගන්නවා.. මගේ කාමරයේ බංග්ලාදේශයෙන් ගෙනාව චේගුවෙරාගේ  පින්තූරේ ඉදන් මැඩෝනාගේ, සමන්තා ෆොක්ස් (Samantha Fox) ගේ ආදී විවිධ අයගේ පින්තූර තිබුනා. ඒ ඒ කාලේ…

කිලියන් මර්ෆි (Cillian Murphy) ව මට ඉස්සෙල්ලාම හිතට අල්ලලා ගියේ ඔහු රගපෑ ‘Red Eye’ (2005) චිත්‍රපටයෙන්. ඒ කාලේ Rachel McAdams කියන්නේ  නැගී එන නිළියක්, හරිම ලස්සනයි…( දැන් නම් කොහේ ඉන්නවාද දන්නේ නෑ). ඒ චිත්‍රපටයේ කිලියන් මර්ෆි රගපෑවේ මැරයෙක් ගේ චරිතයක්. හැබැයි, ආදරේ හිතෙන මැරයෙක්… “කමක් නැද්ද?” කියලා අහලා අහලා බලය යොදවන මැරයෙක්… Red Eye (2005) චිත්‍රපටයේ ඔහුගේ රගපෑම විශිෂ්ඨම නෑ.. නමුත් impressive, සිත් ඇදගන්නා සුළුයි.

හැබැයි කිලියන් මර්ෆි (Cillian Murphy) බ්‍රිතාන්‍යයේ විකාශනය වූ Peaky Blinders (2013–2022) ටෙලිනාට්‍යය මාලාවේ Tommy Shelby ගේ චරිතය නිරූපනය කිරීමත් සමග ඔහු වීරයෙක් වෙනවා (he went from being an actor to a superstar). ඔහු ක්‍රිස්ටෝපර් නෝලන් (Christopher Nolan) අධ්‍යක්ෂණය කරපු ඕපන්හයිමර් (Oppenheimer) චිත්‍රපටයේ Robert Oppenheimer ගේ චිත්‍රපටය නිරූපනය කළා කියන්නෙම ආපහු දෙකක් නෑ හොදම නළුවා (best actor) තමයි..

අවංකවම එකක් කියන්න ඕනේ, ඔය Oppenheimer චිත්‍රපටය බලපු නිසා තමයි මම ඇමරිකාවේ න්‍යාෂ්ටික බෝම්බ වැඩපිළිවෙළ ගැන (the Manhattan Project), ඊට පදනම සැකසු ඇල්බට් අයින්ස්ටයින් ඇමැරිකාවේ රූස්ට්වෙල් ජනාධිපතිට ලියපු ලියුම ගැන, ඒ සියල්ල පිටිපස්සේ හිටිය Leo Szilard ලා, Enrico Fermi ලා, දෙවෙනි ලෝක යුද්ධ කාළේ බුරුතුපිටින්, නැව් ගණන් යුරෝපයේ යුදෙව් ජනයා ඇමැරිකාවට ගෙන්වාගත් Lewis Strauss ලා ගැන වඩ වඩා හොයන්න,  කියවන්න පටන්ගත්තේ..

එහෙම කියවපු විස්තර එක්ක ගත්තාහම කිහිප වතාවක්ම බලපු Oppenheimer චිත්‍රපටයේ පරමානු බොම්බායේ නිර්මාතෘ Robert Oppenheimer ගැන කියවෙන විස්තර බොහෝ දුරට නිවැරැදියි…

සාමාන්‍යයෙන් Hollywood චිත්‍රපටවල කරුණු ඒගොල්ලන්ට ඕනෑ, ඕනෑ විදිහට වෙනස් කරගන්නවානේ… හැබැයි ක්‍රිස්ටෝපර් නෝලන් (Christopher Nolan) ගේ ඕපන්හයිමර් (Oppenheimer) චිත්‍රපටයේ ඒක අඩුයි. එහෙම නෑ ම නෙමේ… ඒක අඩුයි..

ඒම චිත්‍රපටයේ චරිත නිරූපනය සම්බන්ධයෙන් මට තිබුන ලොකුම විවේචනය  Lewis Strauss ගේ චරිතය කිසියම් අගතගාමී විදිහට කරලා තිබුනා කියන එකයි.  Lewis Strauss යි Robert Oppenheimer අතර කිසියම් ඝට්ටණයක් තිබුනා තමයි. ඒ Lewis Strauss ලිබරල්වාදියෙකු ලෙස පෙනීයෑමත්, Robert Oppenheimer කොමියුනිස්ට්වාදීයෙකු  පෙනීයෑමත් වීමට පුලුවන්. ඒත් මම කියවපු විවිධ තොරතුරු අතරේ පෙනීගියේ Lewis Strauss කියන්නේ එහෙම කළු චරිතයක් නෙමේ කියන එකයි.  හැබැයි චිත්‍රපටය තුළ  Lewis Strauss ව පෙන්වන්නේ කළු චරිතයක් විදිහටයි. ඒක නිවැරදි නෑ.. හැබැයි චිත්‍රපටයේ Lewis Strauss ගේ චරිතය නිරූපනය කරණ Robert Downey ඒක හරියට රගපානවා.. ඒ නිසාම තමයි ඔහුට මේ චිත්‍රපටයේ හොදම සහය නළුවාට හිමි සම්මානය හිමිවෙන්නේ…එය වැදගත්.

ඒ කොහොම වුනත් චිත්‍රපටය තුළ Robert Oppenheimer චරිතය බොහෝ දුරට නිවැරැදිව නිරූපනය කරළා තියෙනවා.. Robert Oppenheimer අර පෙන්වනවා වගේ අතීශය මීටරයක්, බුද්ධිමතෙක්, ග්‍රීක දර්ශණවාදයේ ඉදන්, ඉංදීය භගවත් ගීතාවේ ඉදන්, යුදෙව් (Oppenheimer ත් යුදෙව්) තෝරා (Torah) ඉදන්, ක්‍රිස්තියානීන්ගේ බයිබලය දක්වාත් හොද කියවීමක් තියෙන තැනැත්තෙක්… ස්ත්‍රී ලෝලියෙක්… කොමියුනිස්ට් හිතවතෙක්.. ස්පාඤ්ඤ විප්ලවයට මුදල් යෙදවූවෙක්… යුදෙව් ජනයාගේ සුභසාධනය  වෙනුවෙන් මැදිහත්වූයෙක්.. තමන්ගේ කාර්‍යභාරය  වෙනුවෙන් කැපවූවෙක්, හිත රිදුනාහම කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ තමන්ගේ ගුරුවරයාට වුවත් වසදීමට නොපැකිලෙන ගල් හිතක් ඇත්තෙක්…ඒ වගේම තමයි තමන් හිතනදේ කරපු, කාගේවත් කීමක් නොහපු තැනැත්තෙක් – ඒකම තමයි ඔහුගේ බිදවැටීමටත් (downfall) එකටත් හේතුව.

Robert Oppenheimer ගේ අන්න ඒ චරිතය මගේ මේ දවස්වල සිනමා වීරයෙක් වන කිලියන් මර්ෆි (Cillian Murphy) හරියටම පණපොවළා තියෙනවා. ඒක මම විතරක් නෙමේ ඔස්කාර් (Oscar) සම්මාන උලෙළත් පිළිගෙන…

ඉතින් සතුටු නැද්ද?

මාකස් ප්‍රියන්ත පෙරේරා

11/03/24

Social Sharing
අවකාශය නවතම විශේෂාංග