රැකියා සුරක්ෂිතභාවය සඳහා වූ ලෝක දිනය – 2024 අප්‍රේල් 28

වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය කෙරෙහි දේශගුණික විපර්යාසවල බලපෑම්

සෑම අප්‍රේල් 28 වැනි දිනකම, ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් රැකියා ස්ථානයේ ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ ලෝක දිනය සමරනු ලබයි. මෙම වසරේ තේමාව වන්නේ වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය කෙරෙහි දේශගුණික විපර්යාසවල බලපෑම් ගවේෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමයි.

කාලගුණික රටා වෙනස්ුවීම මගින් ලෝකයේ රැකියා ක්ෂේත්‍රයට සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ලබන අතර, විශේෂයෙන්ම එය සේවකයින්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යයට බලපායි. දේශගුණික විපර්යාස මගින් උග්‍රවන වෘත්තීය අවදානම් සඳහා උදාහරණ ලෙස තාප ආතතිය, පාරජම්බුල කිරණ, වායු දූෂණය, බරපතල කාර්මික අනතුරු, ආන්තික කාලගුණික සිදුවීම්, වාහයන්ගෙන් ඇතිවන රෝග වැඩිවීම සහ රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම ආදිය ඇතුළත් වේ.

ලොව පුරා කම්කරුවන් ජීවත්වීමට සහ සුවපහසු සමාජයක් ලබාදීමට සහ ගොඩනැගීමට දායකවී ඇත. බොහෝ විට, මෙම සේවකයින් දිගු කලක් තම පවුල්වලින් ඈත්ව සිටින අතර ආරක්ෂිත පරිසරයක් ලබා නොදීමේදී ඔවුන්ගේ සේවා යෝජකයන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් ඔවුන්ගේ සේවා ස්ථානවලදී අනතුරට ලක්වේ. මෙම සැලකිල්ල නොමැතිකම නිසා, කම්කරුවන් මිය යාම හෝ බොහෝ විට තුවාල වීම සහ/හෝ සුව කළ නොහැකි ලෙස ආබාධ සහිත තත්ත්වයන්ට පත්වේ. සමහර අවස්ථාවලදී රැකියාවට සම්බන්ධව සිදුවන අසනීප හෝ සෞඛය පිරිහීමේ තත්ත්වයන් හේතුවෙන්ද ඔවුන් මියයයි. එබැවින් ලොව පුරා සේවක සංගම් සංවිධාන කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට පමණක් නොව මියගිය අය සිහිපත් කිරීමටද මෙම දිනය සමරනු ලබයි.

කම්කරුවන්ගේ අනුස්මරණ දිනය පිළිබඳ ඉතිහාසය

කම්කරු අනුස්මරණ දිනය ප්‍රථම වරට සමරනු ලැබුවේ 1989දී ඇමරිකානු කම්කරු සම්මේලනය සහ කාර්මික සංවිධාන කොංග්‍රසය විසිනි. 1955 වසරේදී පිහිටුවන ලද ඇමරිකානු කම්කරු සම්මේලනය සහ කාර්මික සංවිධාන කොංග්‍රසය යනු එක්සත් ජනපදයේ විශාලතම සේවක සංගම් සංවිධානයයි. එහි ලියාපදිංචි ජාතික හා ජාත්‍යන්තර වෘත්තීය සමිති කිහිපයක් තිබේ. මෙම සංස්ථාපිත ව්‍යුහයේ සහ කම්කරු අනුස්මරණ දිනයේ අරමුණ වන්නේ සේවයේ යෙදී සිටියදී ජීවිත අහිමි වූ මිලියන ගණනක් කම්කරුවන්ට ගෞරව කිරීම සහ සිහිපත් කිරීමයි. සේවා ස්ථාන තුළ වඩා හොඳ ආරක්ෂක රෙගුලාසි සැපයීමද මෙම දිනය සැමරීම මගින් අරමුණු කරයි.

අප්‍රේල් 28 වැනි දින කම්කරු අනුස්මරණ දිනය, ශෝක දිනය හෝ මියගිය හා තුවාල ලැබූවන් සඳහා ජාත්‍යන්තර අනුස්මරණ දිනය ලෙසද හැඳින්වේ.

Social Sharing
ආර්ථික නවතම පුවත්