20 ගැන මානව හිමිකම් කොමසාරිස්වරියගේ අදහස අනවශ්‍ය පුර්ව විනිශ්චයක්!

යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මහ කොමසාරිස්වරියගේ  අදහස් අනවශ්‍ය සහ පූර්ව විනිශ්චය මත පදනම් වූවක් බව රජය විශ්වාස කරන  බව ජීනිවා මානව හිමිකම් සමුලුවේ 45 වන සැසිවාරයේදී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත (වැඩ බලන) දයානි මෙන්ඩිස් මහත්මිය ප්‍රකාශ කර තිබේ.

ජීනිවා මානව හිමිකම් සමුලුවේ 45 වන සැසිවාරයේදී ඉකුත්  සැප්තැම්බර් 14 වන දින ‘ගෝලීය මානව හිමිකම් යාවත්කාලීන කිරීම’ සඳහා ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය  කළ සඳහනට ප්‍රතිචාර දක්වමින් ඇය මේ බව කියා ඇත.

30/1 යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වූ විට පවා, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාමුව තුළ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් සාක්ෂාත් කර ගැනීමට කැපවී සිටින බව ශ්‍රී ලංකාව පැහැදිලි කර සිටි අතර  රජයේ ප්‍රතිපත්ති රාමුවට අනුකූලව අගෝස්තු 5 වන දින නව පාර්ලිමේන්තුව තේරී පත්වීමත් සමඟ බලයට පත්වූ නව රජය මේ වසරේ පෙබරවාරි මාසයේදී මෙම සභාව ඉදිරියේ දී ඇති සහතික කිරීම් සඳහා කැපවී සිටින බවද ඇය පවසා ඇත.

පාර්ලිමේන්තුව හරහා ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත සාකච්ඡා කොට, විවාද කොට, සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් අනුගමනය කරමින්, සියලු පාර්ශවකරුවන්ට තම අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන අතර  එබැවින්, යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ අදහස් අනවශ්‍ය සහ පූර්ව විනිශ්චය මත පදනම් වූවක් බව රජයේ මතය බවද දයානි මෙන්ඩිස් මහත්මිය පවසයි.

එසේම මෙරට රාජ්‍ය ආයතනවල ප්‍රධාන තනතුරු සඳහා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පත්කිරීමට එරෙහිව නගන ලද අසත්‍ය සහ සනාථ නොකළ චෝදනා මෙරට  ප්‍රතික්ෂේප කරන බවත්, ශ්‍රී ලංකාව මෙම චෝදනාවල විශ්වසනීයත්වය නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කර ඇති අතර, විශේෂයෙන් ගැටුමේ අවසාන අදියරයන් සම්බන්ධයෙන් මෙම චෝදනා විමර්ශනය කළ LLRC සහ පරණගම කොමිෂන් සභා වැනි දේශීය ක්‍රියාදාමයන් කිසිදු ජ්‍යෙෂ්ඨයෙකුට  එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි සොයාගෙන නොමැති බව අවධාරණය කර ඇත.

කිසිදු සාක්‍ෂි සාධකයක් නොමැති විට, මෙම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ට එරෙහිව කරන ලද අපරාධ හෝ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ අඛණ්ඩ අත්තනෝමතික චෝදනා පිළිගත නොහැකි බවත් ස්වාභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝනය කිරීමක් බවත් ශ්‍රී ලංකාව සලකන බවද ඇය පවසා ඇත.

අවසාන වශයෙන්, සෝදිසි කිරීම් සහ බිය ගැන්වීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් රජය දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර ඇති අතර අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සිවිල් සමාජ අවකාශය ආරක්ෂා කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටින අතර ජනමාධ්‍යවේදීන්ට, මානව හිමිකම් ආරක්ෂකයින්ට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි  විමර්ශනය කර නඩු පැවරන බවද පෙන්වා දී සිටියි.

මෙම රජයේ මූලික අවධානය යොමු වී ඇත්තේ ජාතික ආරක්ෂාව සහතික කිරීම සහ රටේ සියලුම පුරවැසියන් සඳහා නීතිය හා සාමය ආරක්ෂා කිරීමට වන අතර “ඕනෑම පුරවැසියෙකුට ආරක්ෂාව පිළිබඳ කිසිදු බියක් නොමැතිව නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම මෙහි අරමුණ බව බවත් පෙන්වා දෙන ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉහත ප්‍රතිපත්ති රාමුවට අනුකූලව, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමට රජය කැපවී සිටින අතර, සියළුම පුරවැසියන්ගේ ජීවිත නගා සිටුවීමටත්, ශ්‍රී ලංකාවේ සාමයට, සංහිඳියාවට හෝ සංවර්ධනයට කිසිදු තර්ජනයක් නොමැති බවට සහතික වීමටත් අධිෂ්ධාන කරගෙන සිටීන බවය.

Social Sharing
නවතම