ගුරු – විදුහල්පති උද්ඝෝෂණය අද මහනුවර දී…

වැටුප් විෂමතාවය ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර තිබේ.

එහි පළමු අදියර ලෙස අද (20) පස්වරුවේ මහනුවර නගරයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිත බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

“ගුරු සහ විදුහල්පතිවරුන්ගේ උසස්වීම් සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙළක් නෑ. ඔවුන් බරපතළ අර්බුදයකට ලක්වෙලා ඉන්නවා. ගුරු සේවයෙන් විදුහල්පති සේවයට ආවාම පඩි අඩුවෙනවා. අධ්‍යාපන පද්ධතියේ සමස්ත ප්‍රශ්න සම්බන්ධයෙන් කිසිදු අවදානයක් අධ්‍යාපන බලධාරීන් තුළ නෑ. හැමදාම සාකච්ඡා විතරයි. ඒ නිසා අපි ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීම පද්ධතියේ ඇතුළු ප්‍රශ්න විසඳන්න කියලා බලකරලා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් අද දවසේ ආරම්භ කරනවා. එහි පළවෙනි උද්ඝෝෂණය අපි මහනුවරින් ආරම්භ කරනවා පස්වරු 2ට. අපි පැහැදිලිවම කියනවා ආණ්ඩුවට වහාම අපි ලබාදෙන පණිවුඩය තේරුම් ගන්න ඕනේ. ගුරු විදුහල්පති සන්ධානය යටතේ මේකෙදී ගුරුවරු, විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු, පිරිවෙන් ගුරුවරු සියලු පාර්ශව ඒකාබද්ධව කරන උද්ඝෝෂණයක් අපි මේ ආරම්භ කරන්නේ ආණ්ඩුවට පණිවුඩයක් දෙන්න. වහාම ගැටලුවලට විසඳුම් ලබාදෙන්න ඕනේ එහෙම නොවුනොත් ඉදිරියේදී විවිධ වෘත්තිය ක්‍රියාමර්ගවලට යොමුවෙනවා.”  

කෙසේවෙතත් ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පළකළේ මෙවන් අදහසකි.

“2022 ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා ඇමති අනුකමිටුවක් මඟින් තීරණය කරලා එයින් තුනෙන් එකක් දුන්නා. ඒ සඳහා බිලියන 32ක් වැය වුණා. සමස්ත රාජ්‍ය සේවයටම රුපියල් 10,000ක් වැඩි කළා. දැන් ඔය තුනෙන් එකේ දීමනාව දුන්නොත් සමහරෙක්ට රුපියල් 12,000ක් 13,000ක් පමණට යන්න පුළුවන් උපරිම කට්ටියට. අවම කට්ටියට රුපියල් 4,000ක විතර වැඩිවීමක් වෙන්න පුළුවන් එතකොට රුපියල් 10,000 හැමෝටම දීමනාව දීලා තියෙනවා රජය. ඉතින් ඒ නිසා මම ඉල්ලීමක් කරලා රජයට මේ අවුරුද්දේ සමස්ත රාජ්‍ය සේවයටම ලක්ෂ 15කට රුපියල් 10,000 දීමනාවක් දුන්නාම තවත් මුදල් වෙන්කිරීමේ හැකියාව ඉතාම අල්පයි. ඉතින් මේ පිළිබඳව පොඩ්ඩක් අපි දැනුවත් වෙන්න ඕනේ. හැබැයි ඉතින් ලබන අවුරුද්දේ මේ ඉල්ලීම සඳහා අපි කටයුතු කරනවා. ඉතින් ඒක මම හින්නේ සාධාරණව ඇහුම්කන් දෙයි කියලා මම විශ්වාස කරනවා.”

Social Sharing
නවතම පුවත්