නව බදු ලිපිගොනු සෑදීමට පෙර මෙතෙක් නොගෙවූ බදු අය කරගත යුතුයි…

රටේ සියලු පුරවැසියන් වෙනුවෙන් බදු ලිපි ගොනු සැකසීම ප්‍රායෝගික නොවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

සියලු අවශ්‍යතා සම්පූර්ණ කරමින් එක් ලිපිගොනුවක් සැකසීමට පැය භාගයක් ගත වන බව හෙතෙම කීවේය.

බදු ලිපිගොනු සැකසීමේ කාර්යයට නිලධාරින් 9 දෙනෙක් සිටින බවත් ඒ අනුව දිනකට සැකසිය හැකි ලිපිගොනු සංඛ්‍යාව 144ක් බවත් ඒ මහතා කියා සිටියේය.

එක්කෝටි හැට ලක්ෂයක ලිපිගොනු සැකසීම සඳහා ඒ අනුව දිගු කාලයක් ගතවන බව පැවැසූ මන්ත්‍රීවරයා ඒ අනුව සැමට බදු ලිපිගොනු විවෘත කිරීම ප්‍රායෝගික නොවන බව පැවැසීය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කළ යුත්තේ බදු ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයන් 1272ක බදු අය කර ගැනීම බවත් එහෙත් ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නැතැයි රණවක මහතා කීවේය.

නව බදු ලිපිගොනු සෑම පුද්ගලයකු වෙනුවෙන් විවෘත කිරීමට පෙර, මෙතෙක් නොගෙවූ බදු අය කර ගැනීමට පියවර ගත යුතු අතර ඊට විධිමත් වැඩපිළිවෙළක් වත්මන් රජය සතුව නැති බව රණවක මහතා කියා සිටියේය.

ඒ හේතුවෙන් ජනතාව පීඩාවට පත් කරමින්, ප්‍රායෝගික නොවන ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී තිබෙන බව පාඨලී චම්පික රණවක මහතා කීවේය. නවීන තාක්ෂණය ඔස්සේ පුද්ගලයන්ගේ ගනුදෙනු නිවැරදිව නිරීක්ෂණය කළ හැකි බවත් ඒ සඳහා QR කේත යොදාගත හැකි අතර ඉන්ධන සඳහා කේතය හඳුන්වාදීම සාර්ථක වූ බවත් හෙතෙම පැවැසීය.

ඒ අනුව ඉන්ධන, විදුලිය සහ ජල බිල්පත් සඳහා QR කේත භාවිතයට ජනතාව යොමු කරවීමට රජය පියවර ගත යුතු බව පැවැසූ මන්ත්‍රීවරයා ඒ යටතේ ගනුදෙනු හා ඒවායේ වටිනාකම් පිළිබඳ නිවැරදි දත්ත ලබා ගැනීමට හැකියාව ඇති අතර බදු අය කිරීම විධිමත් තත්ත්වයකට පත් කිරීමට එය පිටිවහලක් බව ද සඳහන් කළේය.

නුවන් කොඩිකාර

Social Sharing
ආර්ථික නවතම පුවත්