ව්‍යවස්ථා සභාව සහ විධායකය අතර ගැටුම රටට හානිකරය.

ව්‍යවස්ථා සභාව මඟින් ගෙන ඇති තීන්දුවක් පදනම් කරගනිමින් විධායකය හා ව්‍යවස්ථා සභාව අතර මතුව ඇතැයි පෙනෙන්නට ඇති ගැටුම නොපමාවම සමථයකට පත්කර ගන්නා ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටින්නෙමු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(අ) වගන්තිය යටතේ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බලතල හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17වන සංශෝධනය මගින් ඇති කරන ලද සහ 19 හා 21 ව්‍යවස්ථා සංශෝධනය මගින් තහවුරු කරන ලද ව්‍යවස්ථා සභාව ඇති බලය පිළිබඳව කිසියම් මත භේදයක් මතුව ඇති බවට පෙනෙන්නට තිබීම එවැනි ගැටුමකට හේතුවක් වී ඇති බව දැකගත හැකිය.

මෙහිදි අප අවධාරණය කරන්නේ 17වන ආණ්ඩුක්‍රම සංශෝධනය මගින් ලබාදුන් බලතල 18 හා 20 වන සංශෝධන හරහා අකර්මණ්‍ය කරන ලද්දේ වුවත් 19 හා 21 වන සංශෝධන හරහා ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් තම හෘද සාක්ෂියට අනුව බුද්ධිමත්ව හා ස්වාධිනව  තීරණ ගැනීමට හැකියාවක් ලබාදී ඇති බව අපි ඉහළින්ම විශ්වාස කරන බවය.

ඒ අනුව දේශයේ නාමයෙන් අප ඉල්ලා සිටින්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් හා ජනතාවගේ අභිලාෂයන්ට ගරු කරමින් මේ රටේ සිවිල් සමාජය මූලිකත්වය ගෙන සටන් කර අත්පත් කර ගත් ජයග්‍රහණයක් දුර්මුඛ කිරීමට කටයුතු නොකළ යුතුව ඇති අතරම එය මූලික කරගෙන කිසිඳු පාර්ශවයක් ගැටුමකට යොමු නොවිය යුතුය යන්නය.

1999 වර්ෂයේ දී පැවැත් වූ දුෂිත වයඹ මැතිවරණයෙන් පසුව සිවිල් සමාජය හා එක්ව 17වන සංශෝධනය හරහා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරගැනීමට ක්‍රියාකාරී වූ පාර්ශ්වයක් ලෙස මෙම අර්බුදය පිළිබඳව අප තුළ ඇත්තේ බලවත් කණගාටුවකි.

එමෙන්ම ව්‍යවස්ථා සභාව මුල්කරගනිමින් ස්වාධින කොමිෂන් සභා ස්ථාපිත කරගැනීම සඳහා වූ සමාජ මැදිහත්වීමට තුඩුදුන් හා එම අවශ්‍යතාවය හේතු වූ කරුණු පිළිබඳවද අප කිසිවෙක් අමතක නොකළ යුතුව ඇතැයිද සඳහන් කරනු කැමැත්තේමු.

එදා පැවැති ජනතා විමුක්ති පෙරමුණ – පොදු පෙරමුණු රජය සමඟ සන්ධානගත වූයේද 17වන සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය මුල්කර ගනිමිනි. ඒ තුළ ර‌ටේ පරිපාලනය බොහෝ දුරට නිර්දේශපලනීයකරණය වීම ඉතා වැදගත් සිදුවීමක් විය. මැතිවරණ කොමිසමට එදා යෝජනා කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනුසුරුවරයා පත්කිරීමට එදා සිටි රාජ්‍ය නායකත්වය අකමැති වූවද අනෙකුත් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමට එය බාධාවක් නොවීය. එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය සේවා, පොලිස්, වැනි කොමිෂන් සභා සක්‍රීය වීම නිසා ඉන් පසුව පැවැති මැතිවරණ බලපෑම්වලින් තොරව, ස්වාධීනව පැවැත්වීමට හැකි වූ බව අප අමතක නොකළ යුතුය. ඒ බව එකළ සිටි මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.

ඉන් පසු 18වන සංශෝධනය ගෙන ඒ්ම තුළ නැවතත් ප්‍රජාතන්ත්‍ර පාලනයක පැවැති අවකාශය ද බරපතල ලෙස බාධා ඇති කළ අතර, ගෞරවණීය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේගේ නායකත්වයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික  ව්‍යාපාරය 2013 වසරේ ස්ථාපිත කරන ලද්දේ එකී අභියෝගයන්ට මුහුණදෙමින් ප්‍රජාතන්ත්‍රවාදය මේ රට තුළ නැවත තහවුරු කර ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙනි.

2015 වර්ෂයේදී 19 වන සංශෝධනයේ උපතත් සමඟ ශ්‍රී ලංකාව නැවතත් සමස්ත ලෝකයේම ගෞරවයට පාත්‍රවෙමින් ආදර්ශමත් රටක් ලෙස ඉදිරියට ගමන් කිරීමට ආරම්භ කරන ලද්දේ ඒ අයුරිනි.

මේ කාලය තුළ එනම් 8 වන පාර්ලිමේන්ත්‍රවේදී ද විවිධ හේතු මත විධායකය විසින් යෝජනා කරන ලද ඇතැම් නම් පිළිනොගන්නා ලද අතර, සමහර එකඟත්වයන් ප්‍රමාද කළ අවස්ථාද තිබුණි. එසේ කරන ලද්දේ ඒ සඳහා වැදගත් හේතු තිබූ බැවින් බව කිසිවකු අමතක නොකළ යුතුය. එහෙත් 8 වන පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සභාව ගනු ලැබූ සෑම තීරණයක්ම ගන්නා ලද්දේ, පූර්ණ එකඟත්වයෙන් වන බවද මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමු.

එහෙත් 2019 වසරෙන් පසු ගෙන එන ලද 20වන සංශෝධනය හේතුවෙන් පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම විනාශ කළ අතර, නැවත යම් ප්‍රමාණයකට සතුටු විය හැකි අයුරින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරමින් 21වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒ්මට ජනාධිපතිවරයා මුල්වීමත් එයට අධිකරණ අමාත්‍යවරයා ලබාදුන් සහයෝගය අප අගය කරන්නේ ඒ තුළ අපි ඇති කරගත් අපේක්ෂාව  ඉතා පවිත්‍ර වන නිසාය.

17වන සංශෝධනය ගෙන ඒ්මට දායක වූ අය බොහෝ දෙනකු ජීවතුන් අතර නැත. ඒ් වෙනුවෙන් ඔවුන් කැපකළ ශ්‍රමය, කාලය හා ලබාදුන් බුද්ධිමය දායකත්වය අවුරුදු 23කට පසු විනාශ වන තත්ත්වයකට යොමු කිරීමට කිසිවකු හෝ උත්සහ කරන්නේ නම් එය මහත් වූ වේදනාවකි. එමෙන්ම පවිත්‍ර අරමුණකින් ක්‍රියා කළ එකී පිරිසට කරන්නා වූ අපහාසයකි.

එබැවින් අප නැවතත් ඉල්ලා සිටින්නේ විධායකය හා ව්‍යවස්ථා සභාව අතර, කිසිඳු ගැටුමක් ඇති නොවීමට වගබලා ගනිමින් රටේ දැවෙන ප්‍රශ්නවලට හේතු සපයා ඇති ආර්ථික දුෂ්කරතා අවම කරමින් ජනතාවගේ සුභසිද්ධිය සඳහා පෙරමුණ ගන්නා අතර, මහා පරිමාණ ඝාතන, මංකොල්ලකෑම්, මත්කුඩු ව්‍යාප්තිය හා රට පුරා ඉහවහා ගොස් ඇති දූෂණ හා අක්‍රමිකතාවයන් අතුගා දැමීමට එක්ව ක්‍රියාකිරීමට කටයුතු කරන ලෙසටය.

රට මුහුණ දෙමින් සිටින මෙම අභාග්‍ය සම්පන්න තත්ත්වයෙන් මුදවා ගත හැකි එකම මාර්ගය වන්නේ එයයි. ඒ සඳහා කටයුතු කිරීම සියලු දෙනා වෙත පැවැරී ඇති වගකීමයි.

කරූ ජයසූරිය

සභාපති

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

 

Social Sharing
නවතම පුවත්