IMF ගෝලීය වර්ධන පුරෝකථනය ඉහළට…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2024 වසරේ ගෝලීය වර්ධන පුරෝකථනය 3.1% ක් දක්වා ඉහළ නංවයි. මෙය පසුගියදා (30) ප්‍රකාශයට පත්කෙරිණ.

නව පුරෝකථනයෙන් පසුගිය ඔක්තෝබර් මාසයේ ප්‍රකාශිත අගය 0.2% කින් ඉහළ දමා ඇත.

එම සංශෝධනයෙන් චීනය, ඇමරිකාව සහ නැගී එන විශාල වෙළඳපොළවල මෙන්ම, සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් හි වර්ධනය පිළිබිඹු කෙරෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියාසිටී.

එහෙත්, 2024 සහ 2025 සඳහා ගෝලීය වර්ධනය සඳහා වන ප්‍රක්ෂේපණය, 2000-2019 දක්වා වාර්ෂික සාමාන්‍ය අගය වූ 3.8% ට වඩා අඩු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. සීමාකාරී මූල්‍ය ප්‍රතිපත්ති සහ මූල්‍යාධාර අහෝසි කිරීම ඉන් පිළිබිඹු වන බව ද එම අරමුදල පෙන්වාදෙයි.

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි පැවති මාධ්‍ය හමුවක දී අරමුදලේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ පියරේ ඔලිවියර් මහතා පැවසුවේ, ගෝලීය ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පවතින බවයි. උද්ධමනය ක්‍රමානුකූලව පහත වැටීම සහ වර්ධනය පවත්වා ගැනීම වැඩි වී ඇතත්, ප්‍රසාරණ වේගය අඩු මට්ටමක පවතින බව ද ඔහු පවසා ඇත.

Social Sharing
ආර්ථික නවතම පුවත්