වැට් නැති සියලු භාණ්ඩ එකම තැන­කින් ගන්න පහ­සු­කම්…

වැට් බද්දෙන් නිද­හස් කර ඇති අත්‍ය­වශ්‍ය පාරි­භෝ­ගික භාණ්ඩ වර්ග 46 එකම තැන­කින් ලබා ගත හැකි පරිදි නාග­රික සංව­ර්ධන අධි­කා­රියේ ද සහාය ලබා­ගෙන අලෙවි සල් ජාල­යක් ඇති කිරී­මට ප්‍රවා­හන අමා­ත්‍යාං­ශය කට­යුතු කර­මින් සිටින බව ප්‍රවා­හන මහා­මාර්ග හා ජන­මාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා පැව­සීය.

ඒ අනුව තෝරා­ගනු ලබන ස්ථාන­වල වැට් බද්දෙන් නිද­හස් භාණ්ඩ වර්ග 46 අලෙවි කිරීම සඳහා අලෙවි කුටි 46 බැගින් ඉදි කිරී­මට බලා­පො­රොත්තු වන බව ද පැවසූ ඇමැ­ති­ව­රයා සම­හර විටෙක එක් කුටි­යක භාණ්ඩ කිහි­ප­යක් අලෙවි කිරී­මට ද සිදු විය හැකි බව ද සඳ­හන් කළේය.  ඇතැම් දේශ­පා­ල­ක­යන් හා සම­හර කූට වෙළෙ­ඳුන් අත්‍ය­වශ්‍ය පාරි­භෝ­ගික භාණ්ඩ­ව­ලට පවා සිය­යට 18ක බද්දක් අය කරන බවට ව්‍යාජ ප්‍රචාර පතු­ර­ව­මින් ඒවායේ මිල ඉහළ නංවා පාරි­භෝ­ගි­ක­යන් ගසා­කන බවට තොර­තුරු වාර්තා වීමත් සමඟ ඊට පිළි­ය­මක් ලෙස මෙම අලෙ­වි­හල් පිහි­ටු­වී­මට කට­යුතු කරන බව ඇමැ­ති­ව­රයා තව­දු­ර­ටත් සඳ­හන් කළේය.

ඒ අනුව මාර්ග සංව­ර්ධන අධි­කා­රිය, නාග­රික සංව­ර්ධන අධි­කා­රිය, ජාතික රූප­වා­හි­නිය හා ලේක්හ­වුස් ආය­ත­නයේ අධ්‍ය­ක්ෂ­ව­රු­න්ගෙන් සම­න්විත කමි­ටු­වක් මඟින් වැට් රහිත භාණ්ඩ අලෙවි කළ හැකි ස්ථාන හඳුනා ගැනී­මට කට­යුතු කර ඒවා ස්ථාපිත කිරී­මට අදාළ පිය­වර ගන්නා ලෙස තමන් ප්‍රවා­හන අමා­ත්‍යාං­ශයේ ලේකම් ඉංජි­නේරු ආචාර්ය රංජිත් රූබ­සිංහ මහ­තාට උප­දෙස් දුන් බව ද අමා­ත්‍ය­ව­රයා කියා සිටි­යේය.

මේ අනුව සහල්, පොල්, මාළු, තිරිඟු පිටි, එළ­වළු, පල­තුරු, දේශීය හා විදේ­ශීය බෙහෙත් වර්ග, තැඹිලි කුරුම්බා හා අනෙ­කුත් අත්‍ය­වශ්‍ය භාණ්ඩ සහිත අලෙවි කුටි මගින් ජන­තා­වට ඉතා සහ­න­දා­යක මිලට වැට් රහිත භාණ්ඩ මිලට ගැනී­මට අව­ස්ථාව සැල­සෙන බව ද ඇමැ­ති­ව­රයා මෙහිදී ප්‍රකාශ කළේය.

මෙම අලෙ­වි­හල් ලබා දෙනුයේ සාධා­රණ වෙළෙඳ සමා­චාර පිළි­බඳ යහ­පත් අතීත ක්‍රියා­කා­රි­ත්ව­යක් ඇති පුද්ග­ලික අංශයේ ව්‍යව­සා­ය­ක­යන්ට බව ද සඳ­හන් කළ ඇමැ­ති­ව­රයා ඔවු­නට කුලී පද­නම මත පෙර­වරු 10.00සිට රාත්‍රි 10.00 දක්වා එම අලෙ­වි­හල් පව­ත්වා­ගෙන යාමට ඉඩ­කඩ සප­යන බව ද පැව­සීය.

එතු­ළින් මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ ඌන උප­යෝ­ගිතා සහිත සම්පත් පූර්ණ වශ­යෙන් භාවිතා කර මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ ආදා­යම ඉහළ නැංවී­මට අව­ස්ථා­වක් සැල­සෙන බව ද අමා­ත්‍ය­ව­රයා වැඩි­දු­ර­ටත් කියා සිටි­යේය.

Social Sharing
ආර්ථික නවතම පුවත්