මිලින්දගේ මහ කොමසාරිස් පදවියට කැපිල්ලක්!

ඉන්දියාවේ මහ කොමසාරිස් පදවිය  සඳහා  හිටපු අමාත්‍යවරයකු වන මිලින්ද මොරගොඩ පත් නොකරන්නැයි සිංහල ඩයස්පෝරා සංවිධානයක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ජාතියේ උපායමාර්ගික වැදගත්කම් සහිත තනතුරු සදහා උචිත උදවිය නම් කිරීමේ ජනාධිපති සතු පරම අයිතියට ගරුකරන අතරම, ඉංදියාවේ තානාපති ලෙස මිලින්ද මොරගොඩ වැනි පුද්ගලයෙකු පත් කිරීම ජාතියේ යහපතට විරුද්ධ ප්‍රතිඵල ලඟා කර දෙන්නක්  බවයි ශ්‍රී ලංකාවේ සාමය එක්සත්කම හා මානව හිමිකම් සඳහා සංසඳය පවසන්නේ.

තමන් කරන පත්වීමකට විරුද්ධව එය වෙනස් කරන ලෙස බලපෑම් නොකරන්නැයි  ජනාධිපති වරයා විසින් විශේෂ  ඉල්ලීමක් සිදු කිරීමට පෙර, ශ්‍රී ලංකාවේ සාමය එක්සත්කම හා මානව හිමිකම් සදහා සංසදය විසින් නිකුත් කර තිබෙන පුවත්පත් නිවේදනයක් මගින් ඔවුන් තම සංසදය හදුන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ඒකීය භාව‍යේ, භෞමික අඛණ්ඩතාවයේ හා ස්වාධිපත්‍යයේ ආරක්ෂාව සදහා ඩයස්පෝරාවේ නායකත්වය සලසනු ලබන සංසදයක් ලෙසිනි.

මිලින්ද  මොරගොඩ ගේ  පත්වීම සම්බන්ධයෙන් ඒ වන විටත්  ආණ්ඩුව කිසිම විධිමත් ප්‍රකාශයක් කර  නොමැති නමුත් පතල ජනමාධ්‍ය වාර්තාකරණයන් මතත්,  විදෙස් කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය කොළඹගේ “අසල්වැසි රාජ්‍යයන් සදහා හොදම චර්යාවන් සහිත රාජ්‍යතාන්ත්‍රිකයන් පදවිප්‍රාප්ත කල යුතුය” යනුවෙන් තානාපතිමය පත්කිරීම් සම්බන්ධයෙන් කර ඇති අදහස් මතත් පදනම්ව සිංහල ඩයස්පෝරාව විසින් මෙම පුවත්පත් නිවේදනය නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ සාමය එක්සත්කම හා මානව හිමිකම් සදහා සංසදයේ සභාපති ආචාර්ය දසරත් ජයසුරිය නිකුත් කර තිබෙන පුවත්පත්  නිවේදනය මගින් ජනාධිපතිවරයාට  වැඩි  දුරටත් දන්වා  ඇත්තේ මිලින්ද මොරගොඩ  ඉන්දියාවේ තානාපති ලෙස පත් කරණු ලැබීම යලි සලකා බලන්නැයි තදින්ම ඉල්ලා සිටින්නේ ඔහු ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයන් ගැන නොව තමන්ගේ හෝ විදේශික ලැදිකම් මත කටයුතු කරන්නෙකු බවට ඔහුගේ කියුම් කෙරුම් පිලිබදව ඇති අතීත සාක්ෂි මගින් පෙන්වන නිසා බවයි.

තමන් කරන පත්වීමකට විරුද්ධව එය වෙනස් කරන ලෙස බලපෑම් නොකරන්නැයි   විශේෂ  ඉල්ලීමක් කළ ජනාධිපතිවරයා පසුගියදා අවධාරණය කර තිබුනේ  පත්වීම් කරනු ලබන්නේ “ගැඹුරින් සිතා බලා”  බවයි.

එහිදී “ජාති හිතෛෂිබව” සුදුසු කමක් ලෙස සැලකිල්ලට ගෙන තිබේ.

“පත්වූ පුද්ගලයන්ගේ ජාති හිතෛෂිබව, සුදුසුකම් සහ පසුබිම පරීක්ෂා කොට අවස්ථාවෝචිත පරිදි රජයේ ප්‍රතිපත්ති සාර්ථකව ඉදිරියට ගෙන යාමට හැකි ආකාරයට පත්වීම් කර ඇති බැව්” ජනාධිපතිතුමා අවධාරණය කරන්නේ යැයි ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් පසුගියදා  විශේෂ නිවේදනයක් මගින් දැනුම් දී තිබුනි.

සාක්ෂි තොරතුරු සොයා බැලීමේ දී, විදෙස් ජාතින් කෙරෙහි මිලින්ද  මොරගොඩ ගේ  ඇති පක්ෂපාතීත්වය 2003 දී ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති වරයා, ඈෂ්ලි විල්ස් එවන ලදුව පිටවී ඇති කේබල් පණිවිඩයක සදහන් ව ඇති  “මොරගොඩ  ශ්‍රී ලංකාව හා එම කලාපයේ එක්සත්ජනපද උවමනාවන් ප්‍රරෝහනය කිරීමේ ‘ස්ථීරසාර යෝග්‍යයා’ ය යන්නෙන්”  පෙන්නුම් කරන බව ආචාර්ය දසරත් ජයසුරිය අවධාරණය කරයි.

යහපාලන ආණ්ඩු කාලයේ 2017 දී  මොරගොඩ මගින් ස්ථාපිත කරන ලද පාත්ෆින්ඩර් පදනම හරහා ඔහු  එක්සත් ජනපදය සමග දිගින් දිගට යන සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවත් ශ්‍රී ලංකාවේ සාමය එක්සත්කම හා මානව හිමිකම් සදහා සංසදය වසර ගණනාවක් ඇමරිකන් පුරවැසිකම දැරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට   දැනුම් දී තිබේ.

“නොබැදි ජාතින්ගේ ව්‍යාපාරයට (NAM) ප්‍රතිකූල පණිවුඩ යාන්ත්‍රණයක් පිහිටුවීම පිලිගැනීමට ඇති කැමැත්ත. නොබැදි ජාතීන්ගේ ව්‍යාපාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ ආණ්ඩු පිලිවෙත් මගින් දැන් සහාය දෙයි.”

කැබිනට් අමාත්‍යවරයෙකුව සිටින අතරවාරයේ විමුක්ති කොටි සංවිධානය සමග පැවැති අභ්‍යන්තර යුද්ධයට අදාල තොරතුරු විදෙස් බලවේග වලට සපයා ජනාධිපති කුමාරණතුංග අපහසුතාවයට පත් කිරීමට කටයුතු කළ බවට මිලින්ද මොරගොඩ වෙත චෝදනා එල්ල කරන  ශ්‍රී ලංකාවේ සාමය එක්සත්කම හා මානව හිමිකම් සදහා සංසඳය සිය නිවේදනය මගින්  තව දුරටත් පෙන්වා දී ඇත්තේ රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි සමයේ ඔහුගේ පණිවුඩ කරුවා ලෙස ක්‍රියා කරමින් විමුක්ති කොටි සංවිධානයට වාසිදායක ඵල ප්‍රයෝජන ලැබෙන පරිදි එකල ජනාධිපති කුමාරණතුංගට බලපෑම් කිරීමට විදෙස් රටවල නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටි බවයි.

හොරයිසන් හා සර්වාත්‍රා යන ඉංදීය රාජ්‍ය නොවන සංවිධාන සමග කටයුතු කිරීම සදහා නෝර්වේජියානු ක්‍රෝනා මුදලින් දශලක්ෂ 60 ක් (අද රුපියල් වටිනාකම මිලියන 1,260/-) නෝර්වේ වෙතින් ලබා ගැනීමට කැමැත්ත පල කිරීම,  එක්සත් ජනපද හා ඉංදියානු ඕනෑ එපාකම් වලට පක්ෂපාතී පාත්ෆින්ඩර් පදනමේ අනුග්‍රහය යටතේ චීන-ලංකා සහයෝගතා අධ්‍යයන මධ්‍යස්ථානය සංස්ථාපනය කිරීම; හා ඉහලින් පිලිගැනීමට ලක්වසිටි විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති මෙරිල් ගුණරත්නගේ “Cop in the Crossfire” නම් කෘතිය වාර්තා කරන පරිදි බුද්ධි සභාවේ සතිපතා රැස්වීම් වලට සහභාගී වීමට ඇමරිකානු ඔත්තුසේවා ක්‍රියාකාරීන් පිලිවෙල කරදීමත් ඉන්දියාවේ මහ කොමසාරිස් පදවිය  සදහා මිලින්ද මොරගොඩ සුදුසු නොවන බව පෙන්වීම සදහා ශ්‍රී ලංකාවේ සාමය එක්සත්කම හා මානව හිමිකම් සදහා සංසදය නිදසුන් වශයෙන් ඉදිරිපත් කර තිබේ.

ඉහත උපුටා දක්වා ඇති සාක්ෂි අනුව ඉන්දියාවේ මහ කොමසාරිස් පදවිය භුක්තිවිදීමට මිලින්ද මොරගොඩ පත්කිරීම යලි සලකා බලන ලෙසත්, දේශප්‍රේමී හා පරිමිත වූ රාජ්‍යතාන්ත්‍රිකයෙක් වෙත මෙම ඉතාමත් වැදගත් තානාංතරය පවරා දෙන ලෙසත්  ආචාර්ය දසරත් ජයසුරිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන්  හා  විදෙස් කටයුතු අමාත්‍ය දිනේශ් ගුණවර්ධන වෙතින් යටහත් පහත්ව ඉල්ලා තිබේ.

theleader.lk

Social Sharing
නවතම