රට බංකොලොත් බව ආණ්ඩුව ප්‍රකාශ කර නෑ…

මුදල් අමාත්‍යාංශ ලේකම් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට කියයි!

මූල්‍ය බංකොලොත්භාවයක් ආණ්ඩුව ප්‍රකාශයට පත් නොකළ බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පැවසීය.

රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් කැඳවා තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගේ සභාපතිත්වයෙන් එම විශේෂ කාරක සභාව පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තුවේ දී රැස්විය.

මෙහිදී කරුණු දක්වමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්, රජය විසින් මූල්‍ය බංකලොත්භාවයක් ප්‍රකාශයට පත් නොකළ බව කාරක සභාවට පැවසීය.

ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කළේ තෝරාගත් ණය, යම්කිසි කාලසීමාවකට ගෙවීම තාවකාලිකව අත්හිටුවීම පමණක් බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩි දුරටත් කරුණු දක්වමින් සඳහන් කළේය. ඒ අනුව මූල්‍ය බංකලොත් භාවය යන යෙදුම භාවිත කිරීම තාක්ෂණික වශයෙන් නිවැරදි නොවන බව ද ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් යම්කිසි කාලසීමාවකට ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට ගනු ලැබූ තීරණය දීර්ඝ ලෙස සාකච්ජා කර ආණ්ඩුව විසින් ගත් තීරණයක් බව පැවසූ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, නිසි ක්‍රමවේද භාවිත කර එම තීරණය ගත්තේ යැයි ද පැවසුවේය.

මේ අවස්ථාව සඳහා කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක, ජයන්ත කැටගොඩ, ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ, සංජීව එදිරිමාන්න, මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරු සහභාගි වී සිටියහ.

රනිල් ධර්මසේන

Social Sharing
ආර්ථික නවතම පුවත්