කිසිදු බලපෑමකට යටත් වන්නේ නෑ. මාර්ගගත ආරක්ෂණ පනත ඉදිරිපත් කරනවා – ඇමති ටිරාන් අලස්

කිසිදු බලපෑමකට යටත් නොවී මාර්ගගත ආරක්ෂණ පනත (online safety bill) ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පවසයි.

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි කාන්තාවන් සහ ළමයින් සම්බන්ධව සිදුවන අපරාධ පිළිබඳ දැනුම් දීම සඳහා හඳුන්වා දුන් ක්ෂණික දුරකතන අංකය සහ වෙබ් අඩවිය එළිදැක්වීම ඊයේ (4) පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේදී සිදු විය.

පැය 24 පුරා ක්‍රියාත්මක වන ක්ෂණික දුරකතන අංක 109 සහ [email protected] වෙබ් අඩවියත් 0112 444 444 දුරකතන අංකයත් ඇතුළත් මහජන පැමිණිලි අංශය ඇමැති ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් එළිදැක්විණි.

මෙම කවුළුව තුළින් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය ළමයන්ට සහ කාන්තාවන්ට එරෙහි අපරාධ සහ ඔවුන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය, ගෘහස්ත හිංසනය, ළමා අනාරක්ෂිතභාවය, ළමා ශ්‍රමිකත්වය, ළමයින්ට කෲරත්වය යනාදිය විමර්ශනය කිරීම සිදුවේ.

පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඍජුවම පොලිස් ස්ථාන වෙත යෑමට මැලිකමක් දක්වන නව යොවුන් වියේ දරුවන්ට හානියක් නොවන පරිදි මෙම විද්‍යුත් තැපැල් ලිපිනය සහ ක්ෂණික දුරකතන අංක හරහා පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇත.

එවැනි පැමිණිලි සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ පැය 24 පුරා ක්‍රියාත්මක වන මහජන පැමිණිලි මැදිරිය අදාළ පොලිස් ස්ථාන සහ අනෙකුත් ආයතන සම්බන්ධීකරණයෙන් අවශ්‍ය පියවර ගැනීම කඩිනමින් සිදු කරයි.

මෙහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා තවදුරටත් මෙසේ ද පැවසීය.

පවතින තත්ත්වය පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදු කිරීමෙන් අනතුරුව ළමා කාන්තා හිංසනය පිටුදැකීම පිළිබඳ මෙම වැඩසටහන ආරම්භ කරනු ලැබුවා. මෙම විශේෂ ක්‌ෂණික දුරකතන අංකය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමෙන් අනතුරුව මේ සටන අද සිට ආරම්භ කරනු ලබනවා.

යුක්තිය මෙහෙම යටතේත් මේ වන විට විශාල කාර්යභාරයක් සිදුකර තිබෙන බව මුළු රටේම ජනතාව දැනුම්වත් වී සිටිනවා. නමුත් ඇතැම් පිරිස් තවමත් ඊට විරුද්ධව මඩ ප්‍රචාරයන් සිදු කරමින් පවතිනවා.

ඒ ආකාරයටම මේ වැඩපිළිවෙළටත් බාධාවන්ට මුහුණ දීමට සිදුවනු ඇති. නමුත් ගමේ හෝ නගරයේ වෙනසකින් තොරව දරුවන් හෝ කාන්තාවන් යම්කිසි හේතුවක් මත හිංසනයට හෝ අසරණභාවයට පත් වූ විට පොලිසියෙන් පවා නිසි පිහිටක් නොලැබුණු අවස්ථාවන් මීට පෙර පැවතී තිබෙනවා. නමුත් මෙම ඇමතුම් මධ්‍යස්ථානයේ ඇමතුම් ලබා ගැනීම සඳහා පොලිස් කාන්තා නිලධාරිනියන් පමණක් සේවයේ යෙදවීමට අප තීරණය කර තිබෙනවා. ඊට හේතුව කාන්තාවකට පවතින ගැටලුවක් පිළිබඳව ඇමතුමක් ලබාදීමේදී ඊට පිළිතුරු ලබා දෙන්නේ පිරිමි නිලධාරියකු නම් ඔවුන් ඒ පිළිබඳව විවෘතව කරුණු දැක්වීමට මැලිකමක් දැක්වීමට හැකියාව තිබෙනවා. මේ පිළිබඳව පණිවිඩය හැකිතාක් ජනගත කරන ලෙස ඊට සම්බන්ධව කටයුතු කරන විවිධ සංවිධානවලින් මා විශේෂ ඉල්ලීමක් කරනවා.

එමෙන්ම මේ වෙනුවෙන් වැඩි බරක් යොමු කරන ලෙස මා මාධ්‍යයෙන්ද ඉල්ලීමක් කරනවා. මේ සියලු මෙහෙයුම්වල අරමුණ රටේ දරුවන් ආරක්ෂා කර ගැනීමයි. ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමයි. කිසිදු බලපෑමකට යටත් නොවී මේ සටන ද අප ඉදිරියට අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා. එවැනි අපරාධවලට සම්බන්ධ වන කිසිවකුට කිසිදු සමාවක් හිමි වන්නේ නැහැ.

ගෙවුණු වසරේ පමණක් මෙවැනි පැමිණිලි 8000ක්‌ පමණ ඉදිරිපත් වී තිබෙනවා. ඒ අතරින් තුන්දහසක් පමණ සමාජ මාධ්‍ය සම්බන්ධ පැමිණිලි. ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් මාර්ගගත ආරක්ෂණ පනත (online safety bill) ඉදිරිපත් කිරීමට අපි කටයුතු කරනවා.

ඒ සඳහා ජාත්‍යන්තර සංවිධාන, තානාපති කාර්යාල ආදී විශාල පිරිසක් ඊට විරුද්ධව මත පළ කරනවා. ඒ කිසිදු බලපෑමකට යටත් නොවී ජනවාරි 23 වැනිදා මේ යෝජනාව ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනවා. ඒ පිළිබඳව ඕනෑම යෝජනාවක් හෝ අදහසක්‌ ජනවාරි අට වැනිදා දක්වා ලබාදීමේ හැකියාව පවතිනවා. ඉන් අනතුරුව ඒවා ද මීට ඇතුළත් කිරීමේ ඇති හැකියාව පිළිබඳව සොයා බලනවා. මේ සියලු දේ සිදු කිරීමේ අරමුණ රටේ දරුවන්ගේ සහ කාන්තාවන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කිරීමයි. නමුත් අවාසනාවකට රටේ ඇතැම් දේශපාලනඥයන් සහ ජන කොටස් ඒවාට විරුද්ධව අදහස් ප්‍රකාශ කරනවා. නමුත් මේ ඉදිරියට තැබූ පියවර නැවත ආපස්සට ගන්නට අප කටයුතු කරන්නේ නැහැ. ජනතාව සෑම අවස්ථාවකම අප සමඟ සිටින බව මට විශ්වාසයි.

Social Sharing
නවතම පුවත්