මෙරට පළමු තැඹිලි ගම මුරු­ත­වෙල ඉහළ ගම්මා­නය…

ශ්‍රී ලංකාවේ ප්‍රථම තැඹිලි අපනයන ආදර්ශ ගම්මානය ලෙස මුරුතවෙල, ඉහළ ගම්මානය සංවර්ධනය කිරීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (14) ආරම්භ කෙරිණි.

නියමු ව්‍යාපෘතියක් වශයෙන් ප්‍රථමයෙන් තැඹිලි පැළ 1,500ක් මේ ප්‍රදේශයේ ගෙවතු ආශ්‍රිතව රෝපණය කෙරෙන අතර, ඒ සඳහා අවශ්‍ය ගුණාත්මක භාවයෙන් ඉහළ තැඹිලි පැළ බෙදා දීමද මෙදින ඇමැතිවරයා අතින් සිදු කෙරිණි. මේ යටතේ එක් ගෙවත්තකට තැඹිලි පැළ 10ක් බැගින් පිරිනැමීමට සැලසුම් කර තිබේ. අප රටට ඩොලර් උපයා දෙන ප්‍රධාන මාර්ගයක් ලෙස, Sri Lanka Sweet Coconut සන්නාමය සහිතව ඉදිරියේදී මෙරට තැඹිලි ලොව තුළ ජනප්‍රිය කරවීම අරමුණු කර ඇති අතර, මේ ආදර්ශ ගම්මානයේ ඵලදාවද ඒ සඳහා යොදාගැනීමට අපේක්ෂිතය.

ශ්‍රී ලංකාවටම ආවේණික වන තැඹිලි සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ඉතා ඉතා ඉහළ ඉල්ලුමක් පවතින අතර, මේ වන විටද මාසයකට තැඹිලි කන්ටේනර් 200ක් එරටට අපනයනය කෙරෙමින් පවතී. මේ පිළිබඳ අවධානය යොමු කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මෙතෙක් ගෙවතු වගාවක් ලෙස සිදු කෙරුණු තැඹිලි වගාව පළමු වරට අපනයනය ඉලක්ක කරගත් වගාවක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.

තැඹිලි මේ වන විට අප රටට ඩොලර් උපයා දෙන ප්‍රධාන භෝගයක් වෙමින් පවතින අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙරටින් සතියකට තැඹිලි ගෙඩි 252,000ක් පමණ අපනයනය කෙරේ. තැඹිලි අපනයනයෙන් ඉකුත් වසරේදී (2022) රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා ඇති අතර, මේ වසරේදී (2023) අපේක්ෂිත ආදායම රුපියල් බිලියන හයකි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අපනයනය කරන තැඹිලි ගෙඩියක් එරට වෙරළ කලාපයේ මෙරට වටිනාකමින් රුපියල් 2,500ක් වැනි ඉහළ මිලකට අලෙවි කෙරෙන අතර, මේ වන විට එරට තැඹිලි සඳහා ඇති ඉල්ලුම තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ. පොල් සංවර්ධන අධිකාරියේ මැදිහත් වීම මත තැඹිලි අපනයනය සඳහා නියාමන ක්‍රමවේදයක් සැකසීම හේතුවෙන් මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකාවේ තැඹිලි ගෙඩියක් සඳහා එරට වරායේදී ඩොලර් 0.8ක (දළ වශයෙන් රුපියල් 296) මුදලක් ලැබේ.

මේ කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් තැඹිලි වගාව වැවිලි භෝගයක් වශයෙන් වගා කිරීමට සියලු පියවර ගන්නා බව ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. ලොව රටවල් ගණනාවක් තැඹිලි වගා කිරීමට උත්සාහ දරා ඇතත් ඒ උත්සාහයන් සියල්ල අසාර්ථක වී ඇත.

Social Sharing
ආර්ථික නවතම පුවත්