අධිරාජ්‍යවාදීන් 1915දී සිදු කළ හෙන්රි පේද්‍රිස් ඝාතනය සොයන්න කමිටුවක්…

වසර 108කට පෙර සිදු කළ ශ්‍රීමත් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. එම කමිටුවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා පත්කර ඇති බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඊයේ (12) පැවසුවේය.

ශ්‍රී ලංකාවේ යටත්විජිත පාලන අධිකාරිය මඟින් රජයට එරෙහිව කැරලි කෝලාහල සහ රාජද්‍රෝහී ක්‍රියාවන් සිදුකළ බව පවසමින් හෙන්රි පේද්‍රිස් මරණ දඬුවමට ලක්කර තිබුණු අතර වර්ෂ 1915 ජුලි මස 07 වැනිදා එවකට 27 හැවිරිදි වියේ පසුවූ ශ්‍රීමත් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතා යුද අධිකරණයක් හමුවට පමුණුවනු ලැබීය. අනතුරුව හෙන්රි පේද්‍රිස් විසින් ඉදිරිපත් කළ කිසිදු අභියාචනාවක් නොසලකා මරණ දඬුවමට ලක්කිරීම තවත් විශේෂත්වයකි. මියගිය හෙන්රි පේද්‍රිස් මහතාගේ දේහය යුද නීතිය යටතේ වරදකරුවකු වූ අපරාධකරුවකු ආදාහනය කිරීමට නියම කර ඇති ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් හෙළි නොකළ පරිශ්‍රයක ආදාහනය සිදුකර ඇත. ඒ මහතාගේ ඝාතනය එවකට මෙරට පාලනය කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිදුකරන ලද සැලැස්මක ප්‍රතිඵලයක් වශයෙන් හඳුනාගෙන තිබේ. ඒ අනුව එම ඝාතනය සම්බන්ධයෙන් සැබෑ තොරතුරු අනාවරණය කර ගනිමින් එතුමාට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් ඇමැති මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා මෙම කමිටුව පත්කර ඇත.

ඉතිහාසඥයන් දක්වලා තියෙන ආකාරයට 1915දී ශ්‍රී ලංකාවේ සිංහල, මුස්ලිම් කෝලාහලයක් විශාල ලෙස හටගෙන තිබිලා ඒ අවස්ථාවේදී කොළඹ නගරයේ ආරක්ෂාව භාරව සිටි ඉතාම තරුණ ජවසම්පන්න, දක්ෂ නිලධාරියකු ලෙස කටයුතු කළ හෙන්රි පේද්‍රිස් මහතා කැරැල්ල මැඬපවත්වන්න නිසි උත්සාහයක් නොගත් බවටත් කුමන්ත්‍රණකාරී ලෙස පැමිණිල්ල ඉදිරිපත් කරලා රාජද්‍රෝහී චෝදනාවට වරදකරු කරලා තිබෙනවා. රාජ නීතිඥ ජී.ජී. පොන්නම්බලන් මහතා හෙන්රි පේද්‍රිස් මහතාගේ නිර්දෝෂිභාවය පිළිබඳ යුද අධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළත් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු 1915-07-07 වැනි දින කිසිදු අභියාචනයක් නොසලකා මරණ දඬුවමට ලක් කරලා තිබෙනවා. මියගිය හෙන්රි පේද්‍රිස් මහතාගේ දේහය යුද නීතිය යටතේ වරදකරුවකු, අපරාධකරුවකු ආදාහනය කිරීමට නියම කර ඇති ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් හෙළි නොකළ පරිශ්‍රයක ආදාහනය කිරීමට කටයුතු කළා. එතුමාගේ ඝාතනය එවකට මෙරට පාලනය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ලද සැලැස්මක ප්‍රතිඵලයක් බව පසුව නිරීක්ෂණය වෙලා තිබෙනවා. ඒ අනුව මේ ඝාතනයේ සැබෑ තොරතුරු අනාවරණය කර එතුමාට හා පවුලේ අයට යුක්තිය ඉටු කිරීමටයි මේ කමිටුව පත්කළේ. ශ්‍රී ලංකා ඉතිහාසය තුළ ජාතික වීරයකු ලෙස එතුමා සලකා කොළඹ තිඹිරිගස්යායේ ඉසිපතනාරාම ප්‍රදේශයේ එතුමාගේ පිළිරුවකට ගෞරව දක්වනවා. 27 වැනි වියේ පසුවූ ප්‍රභූ ව්‍යාපාරික පවුලක සිටි ඉතාම දක්ෂ, ක්‍රියාකාරී තරුණයකු සැලසුම්සහගතව ඝාතනය කළා ද යන්න පිළිබඳ ත්‍රිපුද්ගල කමිටුව මඟින් වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා යැයි මෙහිදී ඇමැතිවරයා කීවේය.

නුවන් කොඩිකාර

Social Sharing
නවතම පුවත්