අයවැයට විවේචන විනා විපක්ෂයෙන් විකල්ප කෝ?

රට පවතින තත්ත්වය තේරුම් නොගෙන පටු අරමුණු මුල්කරගෙන වැඩ වර්ජනවලට යොමු වුවහොත් රට තවත් පහතට වැටෙනු ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (14දා) පැවසීය.

බංකොලොත් වී සෘණ ආර්ථිකයක සහ ප්‍රශ්න ගණනාවක තිබූ රට මේ තත්ත්වයට ගෙන ඒමට ජනාධිපතිවරයා කටයුතු කළේ දේශපාලනඥයකුට එහා ගිය ආර්ථික දාර්ශනිකයකු ලෙස යැයි ද සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (14 දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

රට බංකොලොත් වී කිසිකෙනෙක් රට භාර ගැනීමට ඉදිරිපත් නොවන අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගත් බවත් අබේවර්ධන මහතා කීය. විපක්‍ෂ නායකවරයා ද මේ අයවැය සිල්ලර අය වැයක් ලෙස හුවා දක්වා තිබුණත් ඔහුට ගිය වසරේ වෙන්කර තිබූ රුපියල් මිලියන 258 ක ප්‍රමාණය 2024 වර්ෂය සඳහා රුපියල් මිලියන 286ක් ලෙස වැඩිකර ඇතැයි ද හෙතෙම පැවසීය.

විපක්‍ෂ නායකවරයා අයි.එම්.එෆ්. මුල් වාරිකය නොලැබෙන බව ප්‍රකාශ කළ අතර දැන් එය ලබාගෙන සිටින විට දෙවැනි වාරිකය නොලැබෙන බව පවසන නමුත් එම වාරිකය ද ලැබෙන තත්ත්වයට පත්ව ඇතැයි කී අබේවර්ධන මහතා තෙවැනි වාරිකය ද ලබා ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි ද කීය.

අයවැය සම්බන්ධයෙන් විපක්‍ෂය විවේචන එල්ල කිරීම විනා විකල්ප යෝජනා ඉදිරිපත් නොකරන බවත්, එවැනි යෝජනා කරනවා නම් සංශෝධන හෝ අලුත් කරුණු ඇතුළත් කිරීමට හැකි බවත් ඒ මහතා කීය.

ජනතාවගේ බදු මුදල්වලින් පාඩු ලබන රාජ්‍ය ආයතන නඩත්තු කිරීමට නොහැකි බවත්, වැටුප් වැඩිවීමට එරෙහිව වෘත්තීය සමිතිවල කිහිපදෙනකු වැඩ වර්ජනවලට යොමු වුවත් සමස්ත රාජ්‍ය සේවය එම තත්ත්වයට පත් නොවන බව ද වජිර අබේවර්ධන මහතා පැවසීය.

චමින්ද සිල්වා

Social Sharing
ආර්ථික නවතම පුවත්